Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකානු උතුරු කොරියානු නායකයින්ගේ ඓතිහාසික හමුවට සිංගප්පූරුව සිරුවෙන් (VIDEO)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොවම බලා සිටින අමෙරිකානු උතුරු කොරියානු ඓතිහාසික සමුළුව සඳහා මේවනවිට සිංගප්පූරුව සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සෙන්තෝසා දුපතේ පිහිටි තරු පන්තියේ සුපිරි හෝටලයක් වන කැප්ලෝ හෝටලය රාජ්‍ය නායකයින් දෙපළ පිළිගැනීම සඳහා සූදානම් කර ඇති බවයි. 

එම හෝටල් පරිශ‍්‍රය අද (11) සහ හෙට (12) යන දින දෙකේදී වෙන්ව පවතින්නේ අමෙරිකාව සහ උතුරු කොරියාව සඳහා පමණක් වීම විශේෂත්වයක්. 

නියමිත වේලාවට අනුව සිංගප්පූරු වේලාවෙන් හෙට උදෑසන 09ට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා උතුරු කොරියානු නායක කිම් ජොංග් උන්, කැප්ලෝ හෝටලයේදී හමුවීමට නියමිතයි. නායකයින් දෙදෙනා වෙනුවෙන් එහි දොරටු දෙකක් වෙන් කර ඇති අතර ඔවුන් වෙන් වෙන් වශයෙන් එකම වේලාවකදී නියමිත දොරටුවලින් හෝටලයට පිවිසීමට නියමිතව තිබෙනවා.  මෙවැනි ඓතිහාසික හමුවකදී එක් නායකයෙකු පැමිණ අනෙක් නායකයාගේ පැමිණීම වෙනුවෙන් බලා සිටීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව මෙම සැලසුම් සකස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

කැප්ලෝ හෝටල් පරිශ‍්‍රය ආශි‍්‍රතව විශේෂ අධි ආරක්ෂිත කලායක් නම් කර ඇති අතර එම කලාපයට ඇතුලූවන පුද්ගලයින් විශේෂ පරික්ෂාවකට ලක් කරන බවද සඳහන්. එම කලාපය වෙත ඩ්‍රෝන කැමරා. ධජ, නාම පුවරු, ප‍්‍රදර්ශන පුවරු සහ ගිනි ඇවිලෙන සුළු උපකරණ රැගෙන ඒම තහනම් කර තිබෙනවා. එසේම එම කලාපය තුළට ඇතුළු වීමට අවසර ලබා දී ඇත්තේ සුපිරි වර්ගයේ වාහන කිහිපයක් සඳහා පමණක් බවද සඳහන්.

සමුළුව ආවරණය කිරීම සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් 3,000 ක් පමණ මේවනවිට සිංගප්පූරුවට පැමිණ සිටිනවා. ඔවුන් වෙනුවෙන් විශේෂ කාර්යාලයක් වෙන් කර ඇති එහි සිට අමෙරිකානු හා උතුරු කොරියානු නායකයින්ගේ හමුවේ සියලූ තොරතුරු බෙදා හැරෙන බවයි වාර්තා වන්නේ.