Saturday, April 27, 2024

General line - 0115112241

"යුද කිරීමට සැමට හැකිවුවත් සාමය ඇතිකළ හැක්කේ නිර්භීත පුද්ගලයින්ට පමණයි" - ජනපති ට්‍රම්ප් (LIVE/ PHOTOS) (UPDATE)

සුපෙම් මානගේ / දිනුක් හේවාවිතාරණ




උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සමග අත්සන් කරනු ලැබූ ගිවිසුමේ ඇතුලත් කරුණු පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර අනාවරණය කළා.

සිංගප්පුරුවේදී මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ "යුද කිරීමට සැමට හැකිවුවත් සාමය ඇතිකළ හැක්කේ නිර්භීත පුද්ගලයින්ට පමණක්" බවයි.

හැකි ඉක්මනින් කොරියාව න්‍යෂ්ටික අවි වලින් තොර කලාපයක් කිරීමට උතුරු කොරියානු නායකයා ලබාදුන් පොරොන්දුව යලි තහවුරු කිරීමක් මෙහිදී ගිවිසුමක් අත්සන් තැබීමෙන් සිදුකළ බව ජනපති ට්‍රම්ප් සඳහන් කර සිටියා.

එමෙන්ම තම රටේ තිබු න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථානයක් සහ මිසයිල එංජින් විනාශ කළ බවට උතුරු කොරියානු නායකයා මෙහිදී සඳහන් කළ බවද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා සිටියා.

උතුරු කොරියාවට එරෙහිව පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීම පිළිබඳව මෙතෙක් තීරණය කර නැති බවත් එහෙත් උතුරු කොරියාවේ කැපවීම මත ඉදිරියේදී එය සිදුවනු ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

එමෙන්ම දකුණු කොරියාවේ රඳවා සිටින 22,000 ක් වූ අමෙරිකානු හමුදා සාමාජිකයින්ව එරටින් ඉවත් කිරීමට මෙතෙක් තීරණය කර නැති මුත් ඉදිරියේදී එය සිදුවෙනු ඇති බවට ඔහු ඉඟි පළකලා.

උතුරු කොරියාවේ මානව හිමිකම් පිළිබඳව අද පැවති සාකච්ජාවේදී කතාබහට ලක්වූ බවත් දැනට උතුරු කොරියාවේ සිටින අමෙරිකානු හමුදාවන් නිදහස් කිරීමට තමන් කළ ඉල්ලීම ගැන උතුරු කොරියානු නායකයා එකඟ වූ බව අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

මෙම සමුළුව සාර්ථක කර ගැනීමට සහය දැක්වූ දකුණු කොරියානු සහ චීන ජනාධිපතිවරුන්ට සහ ජපාන සහ සිංගප්පුරු අගමැතිවරුන්ට මෙහිදී ජනාධිපති ට්‍රම්ප් සිය ස්තුතිය පළකර සිටීමට මෙහිදී අමතක කලේ නැහැ.

................................................................................................................................................................................

අමෙරිකානු-උතුරු කොරියා නායකයින් ගිවිසුමකට අත්සන් තබයි

(12-06-2018 13:42)

ඇමෙරිකාව සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයින් අතර මිට සුළු මොහොතකට පෙර ඓතිහාසික ගිවිසුමකට අත්සන් කරනු ලැබුවා. මෙම ගිවිසුමේ අන්තරගතය කුමක්ද යන්න ගැන මෙහිදී හෙළි නොකල අතර අද දිනය අවසානයේදී ඒ පිලිබදව වාර්තාකරුවන්ට දැනුම් දෙන බව ජනපති ට්‍රම්ප් මෙහිදී කියා සිටියා.

මේ අතර ජනාධිපති ට්‍රම්ප් විසින් උතුරු කොරියානු රාජ්‍ය නායකයාට, දකුණු කොරියානු ජනාධිපතිවරයාට, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසටද සිය ස්තුතිය පළකරන බව මෙහිදී ප්‍රකාශ කර සිටියා.

" අපගේ රටවල් දෙක ගැනත් අප ගැනත් මෙහිදී කතා කළා" යැයි මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයා පිළිබඳව සිය මතය පළකරමින් කියා සිටියා. 

" ඔහු තම රටට බෙහෙවින් ආදරය කරන එමෙන්ම දක්ෂ අයෙක්" යැයි උතුරු කොරියානු නායකයා මෙහිදී ජනපති ට්‍රම්ප් ගැන සිය මතය දක්වා සිටියා.

ජනපති ට්‍රම්ප් ගෙන් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයට පැමිණෙන්නැයි ආරාධනා කරනවාද යන්න පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර එහිදී ජනපති ට්‍ර්ම්ප් පිළිතුරු දෙමින් කියා සිටියේ " සත්‍ය වශයෙන්ම ආරාධනා කරන බවයි".

......................................................................................................................................................................

 විශේෂ යමක් පෙන්වීමට ට්‍රම්ප් කිම්ව රැගෙන යයි 

(12-06-2018 10:57)

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අතර හමුව මේ වන විට දහවල් ආහාරය සඳහා නතර කර තිබෙනවා. ද්වි පාර්ශවිය සාකච්ජා වලින් අනතුරුව රැස්වීම් ශාලාවෙන් පිටතට පැමිණි රාජ්‍ය නායකයින් දෙදෙනා විදෙස් වාර්තාකරුවන්ට කියා ඇත්තේ මේ දක්වා පැවති සාකච්ජා සාර්ථක බවත් සාකච්ජා අවසානයේදී එහි සමස්ත ප්‍රතිපලය කුමක්ද යන්න සියලු දෙනාට දැනගැනීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් වන එකගතාවයන්ට පැමිණ ඇති බවත් ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීමක් ද සිදුවනු ඇති බවට ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉඟි පළකර තිබෙනවා.

" කිසිවෙක් නොසිතු ආකාරයට සාකච්ජාවන් යහපත්ව ගෙන යනවා" යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාට තමාගේ නිල රථය " බීස්ට්ස් " දැක බලා ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කරන ලද  බව බිබිසි ධවල මන්දිර වාර්තාකරු ජෙෆ් සෙල්නියි සඳහන් කරනවා.

..............................................................................................................................................................................

ට්‍රම්ප් සහ කිම් අතර සාකච්ඡාවේ ප්‍රථිපලය මෙන්න 

(12-06-2018 06:45)

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අතර පැවති පෞද්ගලික සාකච්ජාව මිට සුළු මොහොතකට පෙර අවසන් උනා. එම සාකච්ජාව විනාඩි 40 ක පමණ කාලයක් පැවති අතර ඒ සඳහා රාජ්‍ය නායකයින් දෙදෙනාට අමතරව ඔවුන්ගේ භාෂා පරිවර්තකයින් දෙදෙනා පමණක් සහභාගී වීම විශේෂත්වයක්.  

" අපි සාර්ථක වෙනු ඇත. ඒ වගේම ඔබ සමග වැඩ කිරීමට මා බලාපොරොත්තු වනවා" යැයි මෙම හමුවෙදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායකයාට පවසා තිබෙනවා. එයට උතුරු කොරියානු නායකයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙනවා.

නායකයින් දෙදෙනාගේ පෞද්ගලික හමුවෙන් අනතුරුව මේ වන විට දෙවන වටයේ සාකච්ජාවන් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගිවී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

......................................................................................................................................................................

ට්‍රම්ප් සහ කිම් හමුවෙයි

(12-06-2018 06:45)

ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියානු නායකයා අතර හමුව මීට සුළු මොහොතකට පෙර එනම් සිංගප්පූරු වේලාවෙන් පෙරවරු 9.00ට සිදුවුනා. 

සිංගප්පුරුවේ සෙන්ටෝසා දුපතේ කැපෙල්ලා හෝටලයේ ඉදිරිපිටදී නායකයින් දෙදෙනා එකිනෙකා මුණගැසී සුභ පැතීමෙන් අනතුරුව සාකච්ජා සඳහා සුදානම් කර තිබු ස්ථානය වෙත ගමන් කළා.

දෙදෙනා අතර සිදු වූ පළමු හමුවේදීම ප්‍රථමයෙන් හඬ අවදි කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ "ඔබගේ මිත්‍රත්වය මා අගය කරනවා." යනුවෙනි.

ඊට පිළිතුරු දුන් උතුරු කොරියානු නායකයා ට්‍රම්ප් වෙත සඳහන් කර තිබුණේ "මෙම අවස්ථාවට එන්න ලෙහෙසි පහසු වුණේ නෑ.. නමුත් මේ ඉන්න තැන ගැන සතුටු වෙනවා.." යනුවෙනි.