Saturday, April 27, 2024

General line - 0115112241

ලෝක ක්‍රිකට් පිටියේ පන්දුව පළුදු කල සිද්ධීන් - ලංකාවෙන් 2යි ආසියාවෙන් 9යි

තරංග රුක්ෂාන් ජයසේකර




පන්දුව පළුදු කිරීම මේ වන විට ක්‍රිකට් කේෂත්‍රයේ දැඩි කතා බහක් මතුකර තිබෙනවා. ඒ පන්දුව පළුදු කළ බවට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් චෝදනාවට ලක්වීමත් සමගයි. මෙම සිද්ධියත් සමග ක්‍රිකට් ඉතිහාසයෙන් වාර්තා වන පන්දුව පළුදු කිරීමේ සිද්ධීන් හා එම ක්‍රීඩකයින්ට ලැබුණු දඩුවම් පිළිබද සොයාබැලීමක් සිදු කළා.

තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් ලෝක ක්‍රිකට් ඉතිහාසයෙන් පළමු වරට වාර්තා වන්නේ 2000 වසරේදීයි. එම අවස්ථාවටද ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබීම විශේෂත්වයක්.

එහිදී සිද්ධීන් 13ක් වාර්තා වන අතර වැඩිම වාර ගණනකදී :අවස්ථා 08කදී චෝදනාවට ලක් වන්නේ ආසියානු ක්‍රීඩකයින්.

01. 2000 ජුලි - ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය (කොළඹදී)

මෙම ටෙස්ට් තරගයේදී පකිස්ථානයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වකාර් යුනිස් පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එවැනි චෝදනාවකට ලක්වූ ක්‍රිකට් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා ඔහුයි. එහිදී වකාර් යුනිස්ට එක් තරග තහනමක් හා තරග ගාස්තුවෙන් 50% ක දඩයක් නියම වුණා.

02. 2001 නොවැම්බර් - දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව (පොර්ට් එලිසබත් හිදී)

මෙම ටෙස්ට් තරගයේදී ඉන්දියාවේ සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මෙහිදී පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණාග එහිදී එක් තරගයක තහනමක් පැනවුණු අතර පසුව කළ අ‍භියාචනයකදී එම තහනම ඉවත් කළා.
 
03.  2002 වසර නොවැම්බර්  - සිම්බාබ්වේ සහ පාකිස්ථානය (හරාරේ හිදී)

මෙම ටෙස්ට් තරගයේදී පාකිස්ථානයේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක සොයිබ් අක්තාර් පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ඔහුට අනතුරු ඇගවීමක් පමණක් සිදු කළා.

04. 2003 මැයි - පාකිස්ථානය සහ නවසීලන්තය (දඹුල්ලේ දී)

ඉහත සිද්ධියෙන් මාස 6කට පසු යළි සොයිබ් අක්තාර් පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වුණා. ඒ නවසීලන්තයට එරෙහි එක්දින තරගයකදීයී' එහිදී අක්තාර්ට එක්දින තරග 2ක තහනමක් හා තරග ගාස්තුවෙන් 75% ක දඩයක් නියම කෙරුණා.

 05. 2004 ජනවාරි - ඉන්දියාව සහ සිම්බාබ්වේ (බ්‍රිස්බේන්)

මෙම එක්දින තරගයේදී ඉන්දීය සුපිරි පිතිකරු රාහුල් ඩ්‍රාවිඩ් පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩයක් නියම කෙරුණා.
 
06. 2006 අගෝස්තු - එංගලන්තය සහ පාකිස්ථානය (ද ඕවල්)

මෙම ටෙස්ට් තරගය දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල වූ තරගයට සමාන කම් දක්වනවා. මෙහිදී පාකිස්ථාන නායකයා ඉන්සමාම් උල් හක්ට පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. ඊට විරෝධය දක්වා පාකිස්ථානය පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළා. ඉන්සමාම් උල් හක් පසුව පන්දුව පළුදු කල චෝදනාවෙන් නිදහස් වුවද පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළ බැවින් පසුව පැවති එක්දින තරග 4ක් තහනම් කෙරුණා.

07. 2010 ජනවාරි  - ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය (පර්ත් හිදී)

මෙම එක්දින තරගයේදී පාකිස්ථාන සුපිරි ක්‍රීඩක ශාහිඩ් අෆ්රිඩි පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ඔහුට පසුව පැවති පන්දුවාර 20 තරග 2ක් තහනම් කෙරුණා.

08. 2013 ඔක්තෝම්බර් - දකුණු අප්‍රිකාව සහ පාකිස්ථානය (ඩුබායි)

මෙම ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩූ ප්ලේසිස් පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ඔහුට තරග ගාස්තුවෙන් 50% ක දඩයක් නියම කෙරුණා.
 
09. 2014 ජුලි - දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව (ගාල්ල)

ඉහත සිද්ධියෙන් මාස 9කට පසු යළි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වුණා. ඔහු වේග පන්දු යවන ක්‍රීඩක වර්නන් ෆිලෙන්ඩර්. මෙම ටෙස්ට් තරගයේදී ඔහුට එල්ල වූ චෝදනාවට අදාලව  තරග ගාස්තුවෙන් 75% ක දඩයක් නියම කෙරුණා.
 
10. 2016 නොවැම්බර් - ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව (හොර්බාට් හිදී)

මෙම ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩක  ෆෆ් ඩූ ප්ලේසිස් යළිත් වරක් පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ඔහුට තරග ගාස්තුවෙන් 100% ක දඩයක් නියම කෙරුණා.
 
11. 2017 නොවැම්බර්-  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව (නාග්පුර්) 

මෙම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ඔහුට තරග ගාස්තුවෙන් 75% ක දඩයක් නියම කෙරුණා. 

12. 2018 මාර්තු - දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව (කේප් ටචුන්)

ක්‍රිකට් ලොව හෙල්ලී ගිය මෙම ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවේ  නායක ස්ටීව් ස්මිත්, ඩේවිඩ් වෝනර් හා කැමරන් බැන්ක්‍රෝෆ්ට් පන්දුව පළුදු කළ බවට චෝදනාවට ලක්වුණා. එහිදී ස්මිත්ට සම්පූර්ණ තරග ගාස්තුවද එක් ටෙස්ට් තරගයක තහනමක්ද පැනවූ අතර පසුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුට වසරක තහනමක් පනවනු ලැබුවා. ඩේවිඩ් වෝනර්ට ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුට වසරක තහනමක් පනවනු ලැබුවා. පන්දුව පළුදු කළ  කැමරන් බැන්ක්‍රෝෆ්ට්  හට තරග ගාස්තුවෙන් 75%ක දඩයක් නියම කෙරුණු අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුට මාස 9ක තරග තහනමක් පනවනු ලැබුවා.

13. 2018 ජුනි - බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව (සාන්ත ලුසියා)

දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල වූ සිද්ධිය වසර 18ක් තුල සිදුවූ 13 වැන්නයි.