Tuesday, March 19, 2024

General line - 0115112241

රටේ ආරක්ෂක මර්මස්ථානයක් වන "පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානය" ඉවත් කරන්නැයි වන සංරක්ෂණයෙන් යෝජනාවක්

හේමන්ත කහවලගේ




පිදුරුතලාගල කදු මුදුනේ ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් රේඩාර් මධ්‍යස්ථානය හේතුවෙන් පිදුරුතලාගල සංරක්‍ෂිත වනාන්තරයට හානි සිදුවන බවට එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂේප කරන බව ගුවන් හමුදාව පවසනවා. එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ අදාළ ස්ථානයේ කිසිදු අනවසර ඉදිකිරීමක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම එහි රැදී සිටින ගුවන් හමුදා සාමාජිකයන් පරිසරයට අවම බලපෑමක් වන අයුරින් කි‍්‍රයාකරන බවත් සංචාරකයන් ඉවතල අපද්‍රව්‍ය පවා ඉවත් කිරීම ගුවන් හමුදා සෙබළුන් විසින් සිදුකරන බවත් එම ප‍්‍රකාශකවරයා පැවසුවා.  

මේ අතර පිදුරුතලාගල කදු මුදුනේ පිිහිටි රේඩාර් මධ්‍යස්ථානය ඉවත් කරන ලෙස නුවරඑළිය වන සංරක්‍ෂණ කලාප කාර්යාලය මගින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවටද එම ගුවන් හමුදා ප‍්‍රකාශකවරයා පැවසුවා. ඊට හේතු ලෙස දක්වා ඇත්තේ අදාළ රේඩාර් මධ්‍යස්ථානය අක‍්‍රීය බව සහ ඉන් ප‍්‍රයෝජනයක් නොමැති බවයි.

එහෙත් මෙරට ආරක්‍ෂාවට වැදගත්ම ස්ථානයක් ලෙස මෙම රේඩාර් මධ්‍යස්ථානය සැලකිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.  මෙරට ගුවන් සීමාවට ඇතුළු වන සහ පිටවන යානා පිළිබද තොරතුරු දැන ගැනීමට එම මධ්‍යස්ථානයෙන් විශාල සේවාවක් සිදුවන බවද මෙහිදි පැහැදිලි කෙරුණා.