Friday, April 26, 2024

General line - 0115112241

පොසොන් සමයේ තිසා වැවට කළ නස්පැත්තිය (PHOTOS)

චම්ලි ඒකනායක




අනුරාධපුර නගරයට පානීය ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රයක් වන්නේ තිසා වැවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අණ පනත්වලට අනුව මෙම ජලාශයේ දිය නෑම හා ජලය අපවිත්‍රවන අනෙකුත් ක්‍රියාකරකම් නීතියෙන් තහනම්ය.

පොසොන් සමය අනුරාධපුර පූජා නගරයට බැතිමතුන් වැඩි වශයෙන්ම පැමිණෙන කාලයයි. එබැවින් එම කාලයට තිසා වැව හා අනුරාධපුරයට ජලය ලබා ගන්නා අනෙකුත් වැව් ආශ්‍රීතව නෑම සහ අනෙකුත් මිනිස් ක්‍රියාකාරකම් තහනම් බව පවසන පුවරු වැඩි වශයෙන් ප්‍රදර්ශන කිරීම සහ පොලිස් නිලධාරීන් ඒ ආශ්‍රිතව යෙදවීමෙන් එම ජලාශයන්හි දිය නෑම වලක්වනු ලැබුවද, මෙවර එසේ නොවුණු බවයි තිසා වැව සුරැකීමේ සංවිධානය පවසන්නේ.

මීට පෙර අවස්ථාවකදී තිසා වැවේ දිය නෑමේ වරදට, පුද්ගලයෙකුට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 10000ක දඩයක්ද නියම කර තිබුණා. එම දඩ මුදල නොගෙවන්නේනම් මාස 6ක සිර දඬුවමකට යටත් කිරීමටද ඉන් නියෝග කොට තිබුණා. එවන් පැහැදිළි නීතිමය ආවරණයක්ද තිබියදී මෙම වැව්හි දිය නෑම නොදුටුවා සේ සිටීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි තිසා වැව සුරැකීමේ සංවිධානය ඉල්ලා සිටින්නේ.

එසේ නොවී මෙවර පොසොන් සමයේ උදාවූ තත්ත්වය පූර්වාදර්ශයක් කරගනිමින් ඉදිරියේද මෙම ජලාශයන්හි දිය නැම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් සිදුවීම මගින් රටපුරා වසංගත තත්ත්වයක් වුව පැතිරයා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ මෙවර පොසොන් සමයේ තිසා වැවේ දිය නෑ අයුරු සහ වැව අවට කැලි කසළ දමා තිබූ අයුරුය.