Friday, April 26, 2024

General line - 0115112241

ජපානය කැළඹෙයි : පුද්ගලයින් මිලියන 1.4ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කරයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ජපානයට ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසකට ආරක්‍ෂිත ස්ථාන කරා යන්නැයි එරට ආපදා කළමනාකරණ නියෝග කර ඇති බව NHK රුපවාහිනි සේවය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. එමෙන්ම මේ වන විට නායයාමේ අවධානම් සහිත ප්‍රදේශවල සිටින පුද්ගලයින් 168,000 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යවා ඇත.

ජපානයේ බටහිර සහ මධ්‍යම ප්‍රදේශයට ඇද හැලෙමින් පවතින මෙම වර්ෂාව "ඓතිහාසික" එකක් බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ජපානයේ  Shikoku දුපතට පසුගිය පැය 48 තුල මිලිමීටර් 908 ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර සෙසු ප්‍රදේශවලටද ඉදිරි පැය 24 තුල මිලිමීටර් 400 ඉක්මවූ වැසි බලාපොරොත්තුවන බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

මේ අතර මේ දක්වා වර්ෂාව නිසා ඇතිවු හදිසි ආපදා තත්ත්වයන් හා නායයෑම් හේතුවෙන් මේ වන විට ජපානයේ පුද්ගලයින් දෙදෙනෙක් මිය ගොස් ඇති අතර 10 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදහන් ව සිටින බවයි ජපාන මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඉදිරි සතියේදී " මාරියා සුළි කුණාටුව" ජපානයේ ඔකිනාවා ප්‍රාන්තය ඔස්සේ රට තුලට ඇතුල් වනු ඇති බවට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.