Saturday, April 27, 2024

General line - 0115112241

ගුහාවේ සිරවූ ළමුන් එළියට ගත්තේ "නිර්වින්දන එන්නතක්" ලබාදීලා : ලොව සිදුවූ අසීරුම ගලවා ගැනීමේ මෙහෙයුමේ විස්තරය (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ Tham Luang උමං ගුහාවේ සිරව සිටි ළමුන් බේරා ගැනීමේදී ඔවුන් ගුහාවෙන් පිටමන් කල යුතු අනුපිළිවෙල තීරණය කලේ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු වන 25 හැවිරිදි Ekaphol Chantawong විසින් බව මාධ්‍ය වෙත අනාවරණය වුනා. මිට පෙර දැනගන්න ලැබුනේ ගුහාවේ සිටි විශේෂ වෛදවරයෙක් විසින් ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිදුකළ විමර්ශනයකින් අනතුරුව පිටවිය යුතු ළමුන් කවුරුන්ද යන්න ගැන තීරණය කළ බවයි.

Tham Luang උමගේ සිරවී සිටි ළමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම ගැන විවිධ මත  පළවුනා. ඒත් පළමු වරට එම මෙහෙයුම සිදුවූ අන්දම ගැන එම මෙහෙයුමට සම්බන්ධව සිටි කිමිදුම්කරුවන් විසින් හෙළිකර තිබෙනවා. 

" අපිට මුලින්ම අවශ්‍ය උනේ දිය යටදී අපි අතරමං නොවී නිසි ස්ථානයට යනවාද කියා දැනගන්නට පුලුවන් කඹ ආදිය ඇදලා මග සලකුණු තබා ගන්න. උමං තුල කිමිදෙන විට අතරමංවීමේ සම්භාවිතාව වැඩියි. ළමුන් නිරුපද්‍රිතව පිටතට ගෙන එන එක තමයි විශාලම අභියෝගය වුනේ. ඔවුන් පිහිනන්න දන්නේ නැහැ. කිමිදෙන්න දන්නේ නැහැ, එත් ඔවුන්ගේ පුහුණුකරු ළමයි සියල්ලෝම එකතු කරගෙන කතා කළා. ඔවුන්ගේ ආත්ම ශක්තිය වැඩි කළා. මේකෙන් අපි පිටවිය යුතු බවත් අපි ජිවත් විය යුතුයි කියලා ඔහු ළමයින්ව දිරිමත් කළා" යනුවෙන් කියා සිටියේ මෙම මෙහෙයුමට දායකත්වය දැක්වූ තායිලන්තයේ නාවික හමුදාවේ හිටපු සීල් බලඝනයේ නිලධාරියෙක්.

අවසානයේදී මෙම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කළ ආකාරය ගැන අමෙරිකානු ගුවන් හමුදාවේ මුදවාගැනීමේ විශේෂඥ ඩෙරෙක් ඇන්ඩර්සන් විස්තර කර සිටියා. 

"අපිට ගුහාව තුලට පිටතින් ඔක්සිජන් පොම්ප කරන්න සිදුවුනා. හදිසි අවස්ථාවකදී ළමුන්ට අමතර ඔක්සිජන් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඒ සදහා අවශ්‍ය ස්ථාන කිහිපයක්ම පෙරසුදානම් කර තැබීමට සිදුවුනා. මේ සියල්ලට අමතරව අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් උමග තුල රඳවන්න අප කටයුතු කළා. මේ සියල්ලම සැලසුමකට සිදුවුනු දෙයක්. 

පෙර පුහුණුවක් විදිහට අපි ඒ සදහා පිහිනුම් තටාකයක පුහුණු සැසි ගණනාවක් සිදුකළා. විශේෂයෙන්ම ගුහාවේ සිරවී සිටින ළමුන් 12 දෙනාගේ බරට, උසට ගැලපෙන ශරිර තිබෙන ළමුන් 12 දෙනෙක් තෝරා ගෙනයි අපි මේ පුහුණුවීම සිදුකලේ.

පිටමන් කල යුතු පළමු ළමයා කවුරුන්ද කියලා පුහුණුකරු අපිට පෙන්නුවා. අපි ලග තිබුනේ ක්‍රම දෙකයි. ඒත් අවසානයේ අපි ඔවුන් පිටතට ගෙන එන්න අවශ්‍ය හොඳම ක්‍රමය ක්‍රියාවට නැංවුවා. 

අපි මුලින්ම පිටතට ගෙන එන ළමයට සීතලෙන් වැලකෙන්න විශේෂ කිමිදුම් ඇඳුම අන්දවා ඔහුව ස්ට්‍රේචරයක (සැහැල්ලු ගිලන් මැස්සක) නිදි කෙරෙව්වා. ඔහුට Ketamine කියන නිර්වින්දන එන්නතක් ලබාදුන්නේ ගුහාවේ රැදී සිටියි ඕස්ට්‍රේලියානු ජාතික නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විසින්. පසුව ළමයාගේ මුහුණ ආවරණය වන විදිහට කිමිදුම් හිස්වැසුම පලඳවා එයට ඔක්සිජන් සැපයීම සිදුකළා. පසුව ළමයාව ස්ට්‍රේචරයට තබා තදින් වෙළුවා. ඒ දිය යටදී කිමිදුම්කරුවන්ට ඔහුව පාලනය කරගන්න අවශ්‍ය වන නිසා. මොකද ඔවුන් එන මාර්ගය පටු උමං සහිත මාර්ගයක්. එය අසීරු ගමනක් බව අපි නිරීක්ෂණය කර තිබුනා කලින්ම. 

ඉන් පසුවයි විශේෂ පුහුණුව ලැබූ කිමිදුම්කරුවන් දෙදෙනෙක් ස්ට්‍රේචරයේ ඉතා පරිස්සමින් ජලයෙන් පිරි තිබුනු උමග තුලින් පිටතට ගෙන එන්න කටයුතු කළේ. මේ ආකාරයෙන් ළමයින් පිටතට රැගෙන එන විට අතර මග ස්ථාන කිහිපයකදී ඔවුන්ගේ හෘද ස්පන්දනය සහ නාඩි වැටීම ගැන වෛද්‍ය කණ්ඩායම් හිදිමින් සොයා බැලුවා. ඔවුන් සියලු දෙනාම මෙහෙයුම අතර වාරයේදී හොදින් නිදා ගෙන සිටියා යනුවෙන් අමෙරිකානු ගුවන් හමුදාවේ මුදවාගැනීමේ විශේෂඥයා පවසා සිටියා.

මෙහෙයුමට කිමිදුම්කරුවන් 15 දෙනෙක් උමග තුල සිටියත් ඒ සඳහා අවශ්‍ය සහය සපයමින් තවත් සියගණනක පිරිසක් කැපවී සිටියා." යනුවෙන් අමෙරිකානු ගුවන් හමුදාවේ මුදවාගැනීමේ විශේෂඥ ඩෙරෙක් ඇන්ඩර්සන් සිය අත්දැකීම් මාධ්‍ය වෙත හෙළිකර සිටියා.

"ලොව මෙතෙක් සිදුකල  බිහිසුණුම  ගලවා ගැනීමේ මෙහෙයුම මෙයයි, මින් පෙර මේ ආකාරයේ දෙයක් සිදුවී නැහැ. ඒ නිසා  මෙය ඉතිහාසගත වනවා. ඒ වගේමයි මේ ගලවා ගැනීමේ මෙහෙයුමේ සම්පුර්ණ කරන්න තිබුණ ප්‍රහේලිකා බොහෝමයි. නමුත් අපි වාසනාවන්ත වුනා ඒ හැම මොහොතකදීම" ඔහු අවසානයේදී කියා සිටියා.