Friday, April 26, 2024

General line - 0115112241

ණය බරෙන් මිරිකී ණය උගුල්වල පැටලුණ ජනතාවට සහනයක්




දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ යෝජනාව ලබන අගහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නීති සකස් කිරීම සඳහා ක්ෂද්‍ර මූල්‍ය පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒමට ද සූදානම් බවයි. 

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාව ණය බරෙන් මිරිකී සිටින බව ද හෙතෙම සඳහන් කළා. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (22) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමේ නිල උත්සවයට එක්වෙමින්. 

උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර වැඩි දුරටත් සඳහන් කළේ, "මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය 40% සිට 220%  දක්වා මට්ටමක පවතී. දිවයිනේ දිස්ත්‍රික් 13කට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් මෙම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ණය ලබා ගැනීම වැඩි වී ඇත. එබැවින් රුපියල් ලක්ෂයකට අඩු මුදලක් එසේ ලබාගෙන ඇති එම දිස්ත්‍රික්කවල ජනතාවගේ මුදල් කපා හැරීමටත්, ඒ වෙනුවෙන් වූ පොළිය ගෙවීමටත් අප අද සිට කටයුතු කිරීමට සූදානම්. මෙහි සාර්ථකත්වය අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙවැනි ණය උගුල්වල සිරවී සිටින ජනතාවට ද සහන සැලසීම රජයේ අපේක්ෂාවයි. එසේම මේ තත්ත්වය වැලැක්වීම සඳහා ලබන අගහරුවාදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල පොලී අනුපාත 30%ක උපරිමයකට යටත් වන යෝජනාවක් ද මම ඉදිරිපත් කිරීමට සූදානම්. ඒ අනුව එම පනතට අවශ්‍ය සංශෝධන රැගෙන ඒමට කටයුතු කරන බව ද කීමට කැමැතියි." යනුවෙනි.

කිසියම් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් එම නීති රීති අනුව කටයුතු කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රිමයාත්මක වීමට සූදානම් බව ද හෙතෙම කියා සිටියා. එසේම මෙම ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක වූ සමූපකාර ක්‍රමය ද යළි ක්‍රියාත්මක කිරීමට සූදානම් බවද අමාත්ය‍වරයා වැඩි දුරටත් පැවසුවා.