Friday, April 26, 2024

General line - 0115112241

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවූවන් හදිසියේ ඉහළ යෑමෙන් ගැටලු රැසක් ඇති වෙයි

නිශාන් ද සිල්වා




ජාත්‍යන්තර ප‍්‍රමිතීන්වලට අනුව අලුතින් ඉදි කෙරුණු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ, බන්ධනාගාර රෝහලෙහි කාර්ය මණ්ඩල හිඟයක් පවතින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ආරම්භයේදී මෙම බන්ධනාගාරයේ රඳවන ලද රැඳවූවන් ගණන 500කට ආසන්නයි. එහෙත් වැලිකඩින් සහ දුම්බරින් වරින් වර තවත් රැඳවූවන් අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරුකර තිබෙනවා.

ඒ අනුව දැන් එහි සිටින රැඳවූවන් ගණන දහසකට වැඩියි. 

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලට කාර්ය මණ්ඩලය අනියුක්ත කිරීම සහ ඖෂධ සැපයීම එහි ආරම්භක රැඳවූවන් ගණන සැලකිල්ලට ගෙන සිදු කර තිබෙනවා. ඒ අනුව දැනට එහි සේවය කරන්නේ එක් වෛද්‍යවරයෙකු සහ එක් හෙදියක පමණයි.

එහෙත් සේවා පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරුන් 06 දෙනෙකු සහ හෙද හෙදියන් 08 දෙනෙකු අවශ්‍ය බව හඳුනාගෙන තිබෙනවා. මේ වනවිට එහි ප‍්‍රතිකාර ලබන රැඳවූවන් ගණන 200කට වැඩියි.

ඔවුන්ගෙන් 20 දෙනෙකු පමණ අසාධ්‍ය තත්වයේ පසුවන බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

වැලිකඩින් සහ දුම්බරින් රැඳවූවන් අගුණුකොලපැලැස්සට මාරු කරන විට ඔවුන්ගේ වෛද්‍ය වාර්තා රැගෙනවිත් නොතිබීම ද තවත් ගැටළුවක්. මේ නිසා එම රැඳවූවන්ට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර රෝහලේදී ප‍්‍රතිකාර ලබාදීම අපහසු වී තිබෙනවා.