Friday, April 26, 2024

General line - 0115112241

යාපනයේ හෝටලයක රහස් සාකච්ඡාවක් (PHOTO)

දිනසේන රතුගමගේ




බ්‍රිතාන්‍ය නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (21) සවස පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

යාපනයේ පෞද්ගලික හෝටලයකදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මේ සාකච්ඡාව ආවරණය කිරීම පිණිස මාධ්‍යවේදීන් පිරිසක් අදාළ හෝටලය වෙත ගොස් ඇතත් එම සාකච්ඡාව පැවැත්වූ ස්ථානයට යාමට හෝටලයේ ආරක්ෂක නිලධාරීන් අවසර ලබා දී නෑ.

සාකච්ඡාවෙන් පසුව බ්‍රිතාන්‍ය නියෝජිතයින්ගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසා සිටියත් ඔවුන් කිසිවක් ප්‍රකාශ නොකොට හෝටලයෙන් පිටව ගොස් තිබෙනවා.

මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක් සමග උතුරේ දැනට පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවයි.

නමුත් එම නියෝජිතයින් කවුරුන්දැයි විමසූ විට ඊට පිළිතුරු ලබාදීම මන්ත්‍රිවරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය  සී.වී.විග්නේශ්වරන් සහ යුරෝපා රටවල නියෝජිතයින් පිරිසක් අතර සාකච්ජාවක් පසුගිය 20වැනිදා පැවැත් වුණා. යුරෝපා රටවල එම නියෝජිතයින් පිරිසක් උතුරු නැගෙනහිර තත්ත්වය සොයා බැලීම වෙනුවෙන් මෙරටට පැමිණ තිබුණා.

(අදාළ රහස් සාකච්ඡාව සිදු වූ බව කියවෙන අවස්ථාවේ ඡායාරූපයක් පහතින් දැක්වෙයි)