Friday, April 26, 2024

General line - 0115112241

උතුරේ තිස්ස විහාරය ගොඩනැගේ (PHOTOS)




තිස් වසරක යුද්ධයෙන් පසු උතුරු පළාතේ විහාරස්ථාන හා රාජ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් විනාශයට පත්වී ඇති අතර එම විනාශයෙන් බරපතල හානියට පත්ව තිබූ යාපනයේ කන්කසන්තුරේ තිස්ස විහාරයේ ඉදිකිරීම් සඳහා ඊයේ (22) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ විසින් මුල්ගල් තැන්පත් කිරීම සිදු කළා.

බුද්ධශාසන අමාත්‍යාංශයේ මුදල් ප‍්‍රතිපාදන හා පරිත්‍යාගශීලින්ගේ මූල්‍ය දායකත්වය මත සංඝාවාසයක් සහ ධර්ම ශාලාවක් සහිත මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු විහාරාධිපති ශාස්ත‍්‍රපති පාතකඩ විමලඤාන ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම මත සිදු කිරීමට නියමිතයි.

මෙහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ සඳහන් කළේ "බෞද්ධාගම හැර ලෝකයේ වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක, දේව රූප හෝ වෙනත් ආගමික නායකයන්ගේ ස්ථුප තැන්පත් කිරීමට හෝ වන්දනාමාන කිරීමට ඉඩකඩ නැහැ. නමුත් බෞද්ධාගමේ එහෙම සීමා මායිම් පනවා නැහැ. බෞද්ධාගම බලහත්කාරයෙන් කිසිවකුට බැඳීම් සඳහා උපදෙස් දෙන්නෙත් නැහැ. ඒ අනුව බලන කළ සහජීවනයට සංහිඳියාවට නායකත්වය දෙන්නේ බෞද්ධාගමෙන් බව අපට හොඳහැටි පැහැදිලි වෙනවා." යනුවෙනි.

මෙම විහාරස්ථානයේදී අනාගතයේ දෙමළෙන් බණ අහන්න දෙමළ අය මහන කරන්න හැකියාවක් ලැබෙන ස්ථානයක් වේවායි තමා ප‍්‍රාර්ථනා කරන බවද සඳහන් කළා.

1954 වසරේ පස් වැනි මස 17 වැනි දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් මෙම විහාරස්ථානයේ, පුණ්‍යෝත්සවයක් සංවිධානය කර තිබූ බවට අදාල දැන්වීමක් මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන්වහන්සේ විසින් තමා වෙත ඉදිරිපත් කර තිබෙන බවද එසේම 1946 දෙසැම්බර් 18 වන දින ලියාපදිංචි කර ඇති මෙම විහාරස්ථානයේ ඔප්පුව සහිත ලිපි ලේඛන පවා උන්වහන්සේ ඉදිරිපත් කළ බවද උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ පෙන්වා දුන්නා.