Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු ජනාධිපතිවරයා "සමාජ මාධ්‍ය ජාල සමාගම්" පතුරු ගසයි

දිනුක් හේවාවිතාරණ




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ජාල සමාගම් විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ සමාජ මාධ්‍ය ජාල සමාගම් විසින් මිලියන ගණනක් ජනතාවට එරෙහිව සාක්ෂි නොමැතිව වාරණයන් පනවන බවයි.

අමෙරිකානු ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේදී කිසිදු සමාජ මාධ්‍ය ජාල සමාගමක නමක් සඳහන් නොකිරීමට වගබලා ගත් බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටියේ.

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක ෆේස්බුක්, ට්විටර් සහ ගුගල් ගිණුම් සිය ගණනක් අත්හිටුවීමට එම සමාගම් ඉකුත් අඟහරුවාදා පියවර ගනු ලැබුවා.

CNN වැනි ව්‍යාජ ප්‍රවෘත්ති පලකරන මාධ්‍ය ආයතන නොබියව තම ක්‍රියාකාරකම් වල යෙදී සිටියදී සමාජ මාධ්‍ය සමාගම් මිලියන ගණනක් ජනතාව නිහඩ කරවමින් සිටිනවා. වරණයකට යටත් නොවී ජනතාව දැනගත යුතුයි සත්‍ය අසත්‍ය කුමක්ද කියා යැයි ජනාධිපති ට්‍රම්ප් සිය කතාවේදී සඳහන් කර ඇත.

විදේශ කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රචාරණයන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිත්වය ගැන අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අවධානය යොමු වී ඇති මොහොතක ජනපති ට්‍රම්ප් සිදුකළ මෙම ප්‍රකාශය ගැන විදෙස් මාධ්‍ය වල අවධානය දැඩිව යොමුවී තිබෙනවා.

ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ජාල සමාගම් ජනතාව නිහඩ කරවීම ඉතා භයානක බවත් තමන් ඒ පිළිබඳව කනසල්ලෙන් පසුවන බව රොයිටර් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ජාවකදී ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර සිටියේ.