Saturday, April 27, 2024

General line - 0115112241

කම්බි පාළම කඩාවැටෙන්න යයි (PHOTOS)

රංජිත් රාජපක්ෂ




මස්කෙලියේ සිට කැළණි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙලිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාළමේ කම්බි දිරා පත් වී ලෑලි ගැලවී, පාළමේ අත්තිවාරමට යොදා ඇති  යකඩද දිරාපත් වී ඇති නිසා  එම පාළම කඩා වැටිමේ අවධානමක් පවතින බව එම පාළම හරහා ගමන් ගන්නා ජනතාව කියා සිටිනවා.

අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨශයට අයත් ගිනිගත්හේන හිටිගේගම, ගල්ගොඩහින්න ගම්මාන ඇතුළු තවත් ගම්මාන රැසකට පිවිසිමට ඇති කෙටිම මාර්ගය පිහිටා ඇත්තේ මෙම කම්බි පාළම හරහා බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

1955 වසරේදී ඉදිකරන ලද මෙම කම්බි පාළම දිගින් අඩි 275 කින් සහ උසින් අඩි 22 කින් යුක්ත වනවා.

වසර 15 කින් පමණ එම පාළම ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් එම පාළමේ  ආත්තිවාරමට යොදා ඇති යකඩ කුළුණු, පාළමේ ආරක්ෂිත කම්බි සහ එම පාළමේ ගමන් කිරිමට යොදා ඇති  ලෑලි දිරා ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.

එම කම්බි පාළම අබලන් තත්ත්වයේ පැවතීම නිසා එම පාළම හරහා ගමන් ගත් පාසල් ළමුන් සහ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු මස්කෙලි ඔයට වැටී තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසින් පෙන්වා දෙනවා.

හිටිගේගම, මොරතොටියා වත්ත, කෙසෙල්අරාව, මගුරු මාදෙණිය ඇතුළු ගම්මාන රැසකට පිවිසීමට ඇති කෙටිම මාර්ගය මෙය බවයි එම පාළම මතින් ගමන් ගන්නා ජනතාව කියා සිටින්නේ.

එම කම්බි පාළම වෙනුවට යකඩ පාළමක් හෝ කොන්ක්‍රීට් පාළමක් ඉදිකර දෙන බවට අදාල බලධාරින් අවස්ථා කිහිපයකදී පොරොන්දු වී ඇතත් එම පොරොන්දුව මෙතෙක් බලධාරින්  ඉටු කර නොමැති බවද ගම්වාසින් කියා සිටියා.

අබලන් වී ඇති කම්බි පාළම පවත්නා තත්ත්වය මත අවස්තා කිහිපයකදි ගම්වාසින්  සහ තරුණයින් එක්ව තම ශ්‍රමය සහ මුදල් දායකත්වය යොදවමින්  ප්‍රතිසංස්කරණය කළ බවත්, මෙවර එම පාළම ප්‍රතිසංස්කරණ කිරීමට ගම්වාසින් විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අවසරය ඉල්ලා ඇතත්, එම අවසරය මෙතෙක් ප්‍රාදේශිය ලේකම්වරයා විසින් ලබා දී නොමැති බවද ගම්වාසින් කියා සිටිනවා.