Saturday, May 4, 2024

General line - 0115112241

කටුනායකදී කොටු වූ මැණික් මලු (PHOTOS) 




මැණික් තොගයක් නීති විරෝධී ලෙස රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු ඊයේ (28) දින සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මැණික් තොගය චීනයේ සිට රැගෙන පැමිණ ඇති අතර මෙම චීන ජාතිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකු වයස අවුරුදු 39 සහ 27 හැවිරිදි කාන්තාවන් වන අතර , අනෙක් ගුවන් මගියා 37 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

සැකකරුවන් "හරිත මාවත" ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් ඔවුන්  සිය ගමන් මලුවල සඟවාගෙන තිබූ මෙම මැණික් තොගය සොයා ගත්තා.

මෙහි රුපියල් 46,81,445 ක් වටිනා , කිලෝග්‍රෑම් 06 යි  ග්‍රෑම් 448 ක් බර මැණික් තොගයක් තිබූ අතර ඒවායින් කිලෝග්‍රෑම් 04 යි ග්‍රෑම් 600 ක්ම රතු මැණික් කැට බවයි වාර්තා වෙන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන එන්.අයි. බාලගේ, ඩබ්ලිව්.එන්.එම්. මිහිඳු කුළසූරිය, එම්.එම්.එම්.රිෂ්වි, එල්.බී. ඉලුප්පිටිය, පී.එච්.ඩී.පී. චන්ද්‍රසිරි, කේ.පී.ටී. සඳමාල් සහ ඒ.පී. කොඩිතුවක්කු යන නිලධාරී විසින් සිදු කර තිබෙනවා.