Saturday, April 27, 2024

General line - 0115112241

ඉවත් කළේ මොනවාදැයි ශ්‍රීධරන් ප්‍රකාශ කරයි (UPDATE)

මාධව කුලසූරිය/දිනසේන රතුගමගේ




කිලිනොච්චිය දිස්ත්‍රික්කය තුළ කිසිදු ආකාරයක පුරාවිද්‍යා උරුමයක් විනාශ කිරීමට තමන් කටයුතු කොට නොමැති බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ශිවඥානම් ශ්‍රීධරන් පවසනවා.

ඔහු පැවසූවේ කිලිනොච්චිය සංවර්ධන වැඩසටහන යටතේ කිලිනොච්චි ඩිපෝ හන්දිය ප්‍රදේශයේ පැවති යුධ හමුදාව විසින් යුද්ධයෙන් පසුව නිම කොට තිබූ ඉදිකිරීම් කොටසක් පමණක් ඉවත් කළ අතර, අදාළ ප්‍රදේශය සංවර්ධනය වෙනුවෙන් කරච්චි ප්‍රාදේශීය සභාව විසින් අදාළ ඉවත් කිරීම සිදුකළ බවයි.

එහෙත් දකුණේ ඇතැම් පිරිස් තමන් මූලික වී කිලිනොච්චිය පුරාවිද‍යා උරුමයක් විනාශ කොට ඇති බවට ප්‍රකාශ කරමින් අසත්‍ය වපුරන බවද හෙතෙම පැවසුවා.

කිලිනොච්චිය සංස්කෘතික මණ්ඩපය හා කිලිනොච්චිය චන්ද්‍ර පොදු උද්‍යානය ආසන්නයේ පැවති කිසියම් ඉදිකිරීමක කොටස් ඊයේ (16) කරච්චි ප්‍රාදේශීය සභා නිළධාරීන් විසින් ඉවත් කරනු ලැබු අතර, අදාළ අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  ශිවඥානම් ශ්‍රීධරන් ද සහභාගී වී සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් කරච්චි ප්‍රාදේශීය ‍සභා නිළධාරීන්ගෙන් විමසීමේදී අදාළ නිළධාරීන් පැවසූවේ කිලිනොච්චිය දිස්ත්‍රික් කමිටු රැස්වීමේ අවසරය මත සිදුකරන සංවර්ධන කටයුතු වෙනුවෙන් අදාළ ඉදිකිරීම් ඉවත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කය භාර පුරාවිද්‍යා නිළධාරීන්ගෙන් විමසීමේදී අනන්‍යතාව හෙළි කිරීමට අකමැති අදාළ නිළධාරියෙක් සඳහන් කරනු ලැබුවේ කරච්චි ප්‍රාදේශීය සභාව ඉවත් කළ අදාළ ඉදිකිරීම් කොටස පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව හදුනාගෙන නොමැති බවයි.

ගැටළුව සම්බන්ධයෙන් කිලිනොච්චිය ප්‍රදේශවාසීන්ගෙන් සිදුකළ විමසීමකදී ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ ස්ථානය තුළ යුද්ධයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් ඉදිකිරීම් සිදුකොට තිබූ බවයි. ප්‍රදේශයේ දේශපාලන නායකයින් එළැඹෙන පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් යුධ හමුදාව ඉදිකළ ඉදිකිරීම් ඉවත් කරන බවටද චෝදනා කළා.
 

---------------------------------------

කිලිනොච්චියේ ඉපරැණි නටඹුන් තැන්පත් කර තිබූ බව කියන ස්ථානයක් ප්‍රසිද්ධියේ ඩෝසර් කෙරේ (PHOTOS) 

(17-09-2018 06:31)

 

කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටඹුන් සහිත ස්ථානයක් ඩෝසර් කර ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා බැලිමකදී හෙළි වුණේ කිලිනොච්චිය කරච්චි ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් එය ඩෝසර් කරනු ලැබ ඇති බවයි.

ඉකුත් වසර 03ක කාලය පුරා දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන්, අදාළ ස්ථානය ඉවත් කරන ලෙසට ප‍්‍රාදේශීය සභා නිලධාරීන්ට වරින් වර පවසා ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටඹුන් ඉවත් කරන අවස්ථාවට ඔහුද සහභාගී වී ඇතැයි වාර්තා වනවා. කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ද කිලිනොච්චි නගර මධ්‍යයේයි. එය ආසන්නයේ තිබූ මෙම ඉපැරණි නටඹුන්වලින් නගරයේ කටයුතුවලට හෝ වෙනත් කටයුතුවලට කිසිඳු බාධාවක් එල්ල වී නොතිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

පොළොන්නරු යුගයට අයත් නටඹුන් මෙහි තැන්පත් කර තිබූ බවද ප්‍රදෛ්ශවාසීන් පෙන්වා දෙනවා.  කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මෙම ස්මාරක කඩා ඉවත් කිරීමෙන් පසු ''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' යනුවෙන් පැවසූ බව දෙමළ මාධ්‍ය වාර්තා සඳහන් කොට ඇති බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් පවසා ඇත්තේ උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමේ ව්‍යාපාරයට එරෙහිව දෙමළ ජනතාව දැඩිව සටන් කළ යුතු බවයි. බලහත්කාරයෙන් උතුරේ සිංහල ජනාවාස ඇති කිරීමට ද විරුද්ධ විය යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා. 

මෙම තත්වය වැළැක්වීම සඳහා උතුරේ ගම් මට්ටමින් ස්වේච්ඡා සංවිධාන පිහිටුවීම ආරම්භ කළ බවද මන්ත‍්‍රීවරයා කිලිනොච්චියේදී ප‍්‍රකාශ කර තිබෙනවා. 

දැනටමත් මුලතිව්හි ඉඩම් අක්කර 480ක් සිංහල ජනාවාස ඇති කිරීම සඳහා යොදාගෙන ඇති බවත්, තවත් අක්කර 10ක් බෞද්ධ විහාරස්තානයක් ඉදිකිරීම සඳහා ලබාගෙන ඇති බවත් ඔහු කියා සිටියා. ඒවා සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධීව බවයි එස්. ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා පැවසුවේ.

මේ අතර උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවලට එරෙහිව සිදු වන විවිධ ක‍්‍රියාකාරකම් නතර කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව මහා සංඝරත්නය පවසනවා. ශාස්ත‍්‍රපති පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් පැවසුවේ පවතින තත්ත්වය පිළිබඳ කිසිසේත්ම සතුටු විය නොහැකි බවයි.