Friday, April 26, 2024

General line - 0115112241

පෙරලි ගිය මගී නෞකාවේ දින 2ක් සිරවී සිට දිවි ගලවා ගත් ඉංජිනේරුවා (VIDEO/PHOTOS) (UPDATE)

දිනුක් හේවාවිතාරණ




ටැන්සානියාවේ වික්ටෝරියා විලේ සිදුවූ මගී නෞකා අනතුරෙන් දින දෙකකට පසු එහි ගමන් ගත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් අද (22) සමත් වුනා. මෙම අනතුර ඉකුත් බ්‍රහස්පතින්දා (20) සිදුවුවා.

අද දහවල් අනතුරට පත් මගී නෞකාව තුලින් ඇසුණු ශබ්ද හේතුවෙන් ඒ තුල දිවිගලවා ගත් පුද්ගලයින් ඇත්දැයි සෙවීමට කිමිදුම්කරුවන් ජලයේ ගිලුණු නෞකාව තුල නිරීක්ෂණ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එහිදී නෞකාවේ කුඩා කාමරයක් තුල සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට කිමිදුම්කරුවන් සමත්ව තිබෙනවා. දිවි ගලවා ගත් පුද්ගලයා ඉන්ජිනේරුවක් බවයි විදෙස් මාධ්‍ය හෙළි කර සිටියේ. කාමරය තුලට ජලය පිරි නොතිබීම හේතුවෙන් ඔහුගේ දිවි බේරී ඇති බවයි සහන සේවකයින් සදහන් කරන්නේ.

" මෙය සැබවින්ම ආශ්චර්යයක්" සහන සේවා කටයුතු වල නිරත කණ්ඩායම් විදෙස් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා.

ජලයෙන් පිරි ගිය නෞකාවේ සිරවී සිට අදහාගත නොහැකි ලෙස දිවි බේරා ගත් මෙම පුද්ගලයා හමුවීමත් සමග තවත් පුද්ගලයින් සිරවී ඇත්දැයි සොයා කිමිදුම්කරුවන් මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර සිටියේ.

මගින් 400 කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිටියදී අනතුරට ලක්වූ මෙම මගී නෞකාවේ සිට පුද්ගලයින් 170 දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමට සහන සේවකයින් මේවන විට සමත්ව තිබෙනවා. ටැන්සානියා බලධාරීන් සදහන් කරන්නේ තවත් 100 කට අධික පිරිසක් මෙම අනතුරෙන් අතුරුදහන්ව සිටින බවයි.

අතුරුදහන් වූ පිරිස් සෙවීමේ මෙහෙයුම් අවසන්වූ පසු නෞකා අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව ටන්සානියානු බලධාරීන් සදහන් කරනවා.

.................................................................

 

ටැන්සානියා මගී නෞකා අනතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි: තවත් 200ක් අතුරුදහන් 

(21-09-2018 17:24)

ටැන්සානියාවේ වික්ටෝරියා විලේ සිදුවූ මගී නෞකා අනතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඊයේ (20) මෙම අනතුර සිදුවන විට එම මගී නෞකාවේ පුද්ගලයින් 400 දෙනෙක් පමණ ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යාම නිසා මෙම නෞකාව අනතුරට ලක්වන්නට ඇති බවයි ටැන්සානියා බලධාරීන් සදහන් කරන්නේ.

පුද්ගලයින් 100 දෙනෙකු අනතුරෙන් බේරා ගැනීමට හැකිවුවත් තවත් 200 දෙනෙකු පමණ අතුරුදහන්ව ඇති බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

අතුරුදහන්වූ පිරිස් සොයා සිදුකරනු ලබන මෙහෙයුම් දෙවන දිනටත් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව BBC පුවත් සේවය වාර්තා කරනවා.

.............................................................................

වික්ටෝරියා විලේ ඛේදවාචකය

(21-09-2018 05:02)

ටැන්සානියාවේ පිහිටි වික්ටෝරියා විලෙහි ගමන් කරමින් තිබු මගින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 200 කට අධික පිරිසක් අතුරුදහන්ව ඇති බව එරට බලධාරීන් සදහන් කරනවා.

MV Nyerere නම් යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති අතර මෙම ඛෙදවාචකයට ගොදුරු වන අවස්ථාව වන විට එහි මගින් 400 ක් පමණ සිටින්නට ඇති බව විශ්වාස කරනවා.

ධිවරයින් සහ සහන කණ්ඩායම් එක්ව පුද්ගලයින් 100 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිවූ බවත් ඉන් 32 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි BBC පුවත් සේවය සදහන් කරන්නේ.

මෙම යාත්‍රාවේ මගින් කොපමණ දෙනෙක් ගමන් කලාද යන්න ගැන සනාථ කර ගැනීමට නොහැකිවී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා. යාත්‍රාවේ මගින් ගෙන් මුදල් අයකර ගත් පුද්ගලයාද දියේ ගිලීමෙන් මියගොස් ඇති බවත් ඔහු සතුව තිබු ටිකට් යන්ත්‍රය අතුරුදහන්ව ඇති බව සදහන් කර සිටිනවා.

1996 වර්ෂයේදී ද වික්ටෝරියා විලෙහි මගී ප්‍රවාහන යාත්‍රාවක් ගිලි යාමෙන් පුද්ගලයින් 800 දෙනෙකු මිය ගියා.