Friday, April 26, 2024

General line - 0115112241

එජාපයේ අලුත්ම සැළසුම අරන් රාජිත සහ ජෝන් ජනපති හමුවෙයි

හේමන්ත කහවලගේ




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමගි කිරීමේ වෑයමක් දියත් වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ජෝන් අමරතුංගයි.

එහි එක් අදියරක් ලෙස ඉකුත් 03 වැනිදා ඔවුන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණගැසී තිබුණා. එහිදී ජනාධිපතිවරයා ගත් දේශපාලන තීන්දුව පිළිබඳ සාකච්ඡා කර ඇති අතර ඊට බලපෑ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිලි කරනු ලැබ ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් විසින් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මුණගැසෙන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි සඳහන්. කෙසේවෙතත් ජනාධිපතිවරයා එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

රනිල් වික‍්‍රමසිංහ මහතා සමග දුරකතනයෙන් හෝ සාකච්ඡා කරන ලෙසටයි එහිදී තවදුරටත් ඉල්ලීම් කර ඇත්තේ. එයද ජනාධිපතිවරයා ප‍්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. යළිත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි ජනාධිපතිවරයා හමුවූ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කර ඇත්තේ.