Saturday, April 27, 2024

General line - 0115112241

අල්ලස් නඩුවේ බොරු සාක්කි දුන් කාන්තා පොලිස් සැරයන්වරියට අධිකරණයෙන් ලැබුණු තීන්දුව




අල්ලස් නඩුවක විත්තිකරුට පක්‍ෂව බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකාරිය වු මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් සැරයන්වරියකට වසර 02 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග විසින් අද (07) නියම කළා.

මෙම දඩුවම් කාලය වසරක් තුළ ගෙවී යන පරිදි කි‍්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

විත්තිකාරියගේ දරුවා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හෙයින් ඇයට ලිහිල් දඩුවමක් නියම කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියත් රජයේ වගකිවයුතු තනතුරක් දරණ පොලිස් නිලධාරිණියක් අධිකරණය හමුවේ බොරු සාක්කි දීම ලිහිල් ආකාරයෙන් සැළකිය හැකි තත්වයක් නොවන බව විත්තිකාරියට දඩුවම් නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියා.

රථවාහන වරදක් කළ පුද්ගලයකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු නොපවරවා දඩ කොළයක් නිකුත් කිරීම සඳහා ගුණවර්ධන නමැත්තකුගෙන් රුපියල් 2500/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබුනා.

එම නඩු විභාගයේදී විත්තිකාර මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් සාක්කි දුන් අදාළ කාන්තා පොලිස් සැරයන්වරිය එම සිද්ධිය වු අවස්ථාවේ තමාද එහි සිටි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කුණු කූඩයේ තිබී මුදල් ගන්නවා තමා දුටු බවත් පවසා තිබෙනවා.

ඒ අවස්ථාවේදී එම සිද්ධියෙන් පසු විත්තිකාර මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතා බහ නොකළ බවත් සම්බන්ධතා නොපැවැත්තු බවත් අදාළ කාන්තා පොලිස් සැරයන්වරිය අධිකරණය හමුවේ කියා ඇතත් ඇයගේ දුරකතන වාර්තා පරීක්‍ෂා කිරීමේදී ඇය විත්තිකරු සමඟ අවස්ථා 31කදී දුරකතනයෙන් කතා කොට ඇති අතරම එස්.එම්.එස්. පණිවුඩද යවා ඇති බවත් හෙළි වී ඇත.

එම සිද්ධියෙන් පසු විත්තිකාර මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතා බහ නොකළ බව ප්‍රකාශ කිරීමෙන් අධිකරණය හමුවේ බොරු සාක්කි දීමේ චෝදනාව නිසා විත්තියේ සාක්කිකාරියක ලෙස අධිකරණයට පැමිණි පොලිස් සැරයන්වරියට එරෙහිව මෙලෙස වසර දෙකක සිරදඩුවම් නියම කරනු ලැබුවා.