Friday, April 26, 2024

General line - 0115112241

චීනය කැනඩාව සමග යුද්ධයකට පැටලෙයි

දිනුක් හේවාවිතාරණ




කැනේඩියානු ජාතිකයෙක් වන මයිකල් කොව්රිග් චීනය විසින් රඳවා තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජතාන්ත්‍රික නිලධාරියෙක් ලෙස මිට පෙර කටයුතු කර ඇති අතර මේ වන විට ඔහු චීනයේ රැකියාවක් කරමින් සිටි බවටයි වාර්තා වන්නේ.

ඔහු සේවය කරනු ලබන සමාගම මයිකල් කොව්රිග් චීන බලධාරීන් විසින් රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඇති බවට තහවුරු කර ඇති අතර ඔහු නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි BBC පුවත් සේවය වාර්තා කරන්නේ.

මෙම කැනේඩියානු ජාතිකයා රඳවා තබා ගැනීමට හේතුව කුමක්ද යන්න පිලිබදව චීන රජය විසින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

කෙසේ වුවත් ඉකුත් දෙසැම්බර් 01 වැනිදා අමෙරිකාව විසින් උදර්පණ නිතිය යටතේ සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව චීනයේ සුප්‍රකට හුවාවේ දුරකථන සමාගමේ ප්‍රධාන මුල්‍ය පරිපාලන නිලධාරිනිය වන මෙන්ග් වන්සුහ් අත්අඩංගුවට ගැනීමට කැනඩාව කටයුතු කිරීමත් මෙයත් අතර සම්බන්ධයක් ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

සිය රටේ ප්‍රධාන සන්නිවේදන උපාංග හා දුරකථන සමාගමක් වන හුවාවේ සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය මෙන්ම එම සමාගමේ මුල්‍ය පරිපාලන නිලධාරිනිය නිදහස් කරන මෙන් චීනය අවස්ථා ගණනාවකදී කැනඩා රජයෙන් ඉල්ලීම් සිදුකලත් ඔවුන් එය අධිකරණ කටයුත්තක් බැවින් තමන්ට ඒ සඳහා අතපෙවීමක් සිදුකල නොහැකි බව දන්වා සිටියා.

මේ හේතුවෙන් චිනය විසින් කැනඩාවට එරෙහිව එකට එක කිරීමක් වශයෙන් කැනේඩියානු පුරවැසියෙක් චෝදනාවක් නොනගාම සිය භාරයට ගෙන ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයින් ප්‍රකාශ කරන්නේ.