Saturday, April 27, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේදී ගැටලුවක් මතුවෙයි

තරංග රුක්ෂාන්/ ලහිරු කපුගේ




පාර්ලිමේන්තුවේ ආසන පැනවීමේ දී යම් ගැටළුකාරී තත්වයක් මතුව තිබෙනවා.

ඒ, නව රජයේ කැබිනට් මණ්ඩලය මේ වනතෙක් දිවුරුම් දී නොතිබීම හේතුවෙන්. ඒ අනුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට පමණක් අගමැති අසුන වෙන් කිරීම සිදු කරනු ඇති.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය නම් කර නොමැති වීම හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත හෙට දිනයේ ආසන පැනවීම සිදු කිරීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ. 

විපක්ෂ නායක අසුන ලබා දෙන්නේ කාටදැයි මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දුගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුව ලැබීමෙන් පසු විපක්ෂ නායක අසුන අදාළ පුද්ගලයාට වෙන් කරන බවයි. විපක්ෂ නායක අසුන වෙන් කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට ද බලාපොරොත්තු වන බව වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියා. 

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00ට රැස්වීමට නියමිතයි. හෙට දිනයේ ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ ගැලරිය වසා තැබීමටයි තීරණය කර ඇත්තේ. පෙර දිනවලදී මෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක් සපයනු ඇති.