Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසුභ පණිවිඩයක් : 2020 ලෝක කුසලාන විස්සයි 20 සුපිරි 12 කණ්ඩායම් අතරින් එළියට

දිනුක් හේවාවිතාරණ




2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත අයිසිසි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබූ කණ්ඩායම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර තිබෙනවා. ඒ 2018 වසරේ අවසන් වීමත් සමග විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් සළකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව පාකිස්ථානය, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් 2020 ලෝක කුසලාන 20-20 තරගාවලියේ සුපිරි 12 දෙනාගේ කණ්ඩායම සඳහා සෘජු සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එයට ඇතුලත් නොවන බවයි ICC නිකුත් කල වාර්තාවේ සඳහන් වන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකට සුපිරි 12 වටයට ඇතුල් වීම සඳහා සුදුසුකම් ලබා සිටින අනෙක් කණ්ඩායම් 6 සමග තරග වැදීමට සිදුවන අතර ඉන් ජය ලබා සුපිරි 12 කණ්ඩායම් අතරට තේරී පත්වීමට සිදුවන බවයි ICC සඳහන් කරන්නේ.

2014 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ඉරණම සම්බන්ධයෙන් නායක ලසිත් මාලිංග දැඩි කණස්සල්ලෙන් පසුවන අතර ඔහු කියා සිටින්නේ කණ්ඩායම් තරග වලදී ශ්‍රී ලංකා පිල දස්කම් දක්වා සුපිරි 12 දෙනාගේ වටයට ඇතුල්වීමට හැකිවනු ඇති බව තමන් විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු කණ්ඩායම් 06 සුදුසුකම් ලැබීමේ තරග ලබන වසරේ ඔක්තෝම්බර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වෙනු ඇති.

විස්සයි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ සහ බංග්ලාදේශය 10 වන ස්ථානයේ පසුවනවා.