Saturday, April 27, 2024

General line - 0115112241

මත්පැන් සහ බීර මත 100 % ක "පාප බද්දක්" (VIDEO)

දිනුක් හේවාවිතාරණ




සෞඛ්‍යට අහිතකර ආහාර පාන සඳහා නව බදු පැනවීමේ ප්‍රතිපත්තිය මත 2019 වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සහ බීර මත 100% ක බද්දක් පැනවීමට කටාර් රාජ්‍ය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව නව බදු ක්‍රමය " පාප බද්ද" යනුවෙන් නම් කර ඇති බවයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

මෙම නව බදු ක්‍රමයත් සමග නව වසර උදාවට පෙර සිටම කටාර් රාජ්‍යයේ මත්පැන් අලෙවි කිරීම සඳහා අවසරය හිමිව තිබෙන එකම සමාගම වන " කටාර් බෙදාහැරීමේ සමාගමේ" සාප්පු සංකීර්ණයේ දිගු පෝලිම් දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ අනුව නව බදු පැනවීමත් සමග කටාර් රාජ්‍යයේ මත්පැන්, ස්ප්‍රිතු සහ බියර් මිල ගණන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. 

නව මිල ගණන් වලට අනුව බොම්බේ සැෆයාර් ජින් බෝතලයක් අමෙරිකානු ඩොලර් 93ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 17110/=) වේ. දකුණු අප්‍රිකාවේ නිෂ්පාදිත ෂිරාස් වයින් බෝතලයක් අමෙරිකානු ඩොලර් 86ක් ( ශ්‍රී ලංකා මුදලින් රු. 15820/=), එමෙන්ම මිලි ලීටර් 330 හෙයින්කේන් වර්ගයේ බියර් කෑන් 24ක් අඩංගු ඇසුරුමක මිල අමෙරිකානු ඩොලර් 105 (ශ්‍රී ලංකා මුදලින් රු. 19320/=) ක් වන බවයි කටාර් බෙදාහැරීමේ සමාගම නිකුත් කර ඇති පිටු 30 කින් යුක්ත නව මිල ලේඛණයේ සඳහන්ව ඇත්තේ.

2022 ලෝක පාපන්දු කුසලානය පවත්වනු ලබන කටාර් රාජ්‍ය මෙලෙස මත්පැන් වල මිල ගණන් ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක්ද නිර්මාණය වී තිබෙනවා. දැඩි මුස්ලිම් ආගමික සම්ප්‍රදායන්ට ගරු කරන ගල්ෆ් රටක් වන කටාර් රාජ්‍ය පාපන්දු ලෝක කුසලාන තරග පවත්වනු ලබන ක්‍රීඩාංගන වල මත්පැන් අලෙවි කිරීමට සහ පානය කිරීම සඳහා විශේෂිත ආවරණයකින් යුත් කළාපයක් පිහිටුවීමට ද පියවර ගෙන තිබුණා. 

කෙසේ වුවත් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වසර 04ක කාලයක් තිබියදී එකවර මත්පැන් සහ බීරවල මිල ඉහළ දැමීම සංවේදී කරුණක් බවට පත්ව ඇති බවයි විචාරකයින් සඳහන් කරන්නේ.