Friday, April 26, 2024

General line - 0115112241

නව දුම්රිය මාර්ගයේ ගිය අර්ජුනගේ චාරිකාව බෙලිඅත්තේදී කඩාකප්පල් වෙයි (PHOTOS)

ගුණරත්න ගමගේ




මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06)  නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය වූ අතර එම අවස්ථාවට එක්ව සිටි ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංගට විරෝධයක් එල්ල වී තිබෙනවා.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී අමාත්‍යවරයා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය පළ කරන ආධාරකරුවන් විරෝධතා පුවරු රැගෙනවිත් විරෝධය පළ කිරීමත් සමග අමාත්‍යවරයා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කරමින් ඉන් පිටව ගොස් තිබෙනවා.

විරෝධතාකරුවන් සඳහන් කර ඇත්තේ මෙම දුම්රිය මාර්ගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිකරන ලද එකක් බවයි. අදාළ නිරීක්ෂණ දුම්රිය ධාවනයට එක්කර තිබූ දුම්රියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සහ බැනර් සවි කරමින් විරෝධතාකරුවන් කටයුතු කළ බවද එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව අවස්ථාව ආවරණය කිරීම සඳහා කොළඹ මාධ්‍ය ආයතනවලින් ආරාධනා කර බස් රථයක් දමා ගෙන්වා තිබූ රජයේ සහ පෞද්ගලික ආයතනවල මාධ්‍යවේදීන්ද මග දමා අමාත්‍යවරයා පිටව ගිය බවයි එහි සිටින මාධ්‍යවේදීන් පවසන්නේ. 

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් කළ විමසීමකදී කියා සිටියේ එවැනි සිදුවීමක් සිදු නොවූ බවත් දුම්රියෙන් පිටත සිට ආවරණ කටයුතු සිදු කළ මාධ්‍යවේදීන්ට දුම්රිය පිටත්වීමත් සමඟ දුම්රියට ඇතුල් වීමට නොහැකි වූ බවයි.

එසේම අමාත්‍යවරයා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් එම මාධ්‍ය අංශය සඳහන් කළේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සැළසුම් කර නොතිබූ බවත්, අමාත්‍යවරයා මාතර දුම්රිය ස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ බවයි.