Saturday, April 27, 2024

General line - 0115112241

මෙරට ශ්‍රමිකයින් මැදපෙරදිග රටවල් අතහැර වෙනත් රටවල් කිහිපයක් වෙත යොමුවීමේ ප්‍රවණතාවයක්




2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී ගෘහ සේවය සඳහා විදේශ ගතවූ කාන්තාවන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. කෙසේවෙතත් මෙරට ශ‍්‍රමිකයින්ගේ විදේශ ගතවීම ඉකුත් වසරේදී සමස්තයක් ලෙස සියයට 0.24 කින් අඩුවී ඇති බවයි පැවසෙන්නේ.

කාන්තා ශ‍්‍රමිකයින් හැටහය දහස් නවසිය හැත්තෑඑක් (66971) දෙනෙකු 2018 වර්ෂයේදී රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා. ඒ අතරින් හැට හතරදහස් නවසිය හැටපස් දෙනෙකු (64965) විදේශ ගතවී ඇත්තේ ගෘහ සේවය සඳහායි.

2017 දී ගෘහ සේවය සඳහා විදේශ ගතවී ඇත්තේ පනස් පන් දහස් අටසිය අසූ හතරක් (55884) පමණයි. ඒ අනුව ඉකුත් වසරේදී එය සියයට 13 ක වැඩිවීමක්. එහෙත් 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී සමස්තයක් ලෙස කාන්තා ශ‍්‍රමිකයින් විදේශ ගතවීම සියයට 0.3කින් අඩුවී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

ඉකුත් වසරේදී ශ‍්‍රමිකයින් දෙලක්‍ෂ එකොලොස් දහස් පන්සිය දෙදෙනෙකු (211502) රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් පිරිමි ශ‍්‍රමිකයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සිය තිස් එකක් (144531). එය විදේශ ගතවූ මුළු ශ‍්‍රමිකයින්ගෙන් සියයට 68.3 ක් වනවා. ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී පිරිමි ශ‍්‍රමිකයින් විදේශ ගතවීම සියයට 0.3කින් වැඩි වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

2018 වර්ෂයේදී කාන්තා ශ‍්‍රමිකයින්ට වඩා පිරිමි ශ‍්‍රමිකයින් හැත්තෑ හත් දහස් පන්සිය හැට දෙනෙකු (77560) රැකියා සදහා විදේශ ගතවී තිබෙනවා. ඉකුත් වසර තුළ වැඩිම ශ‍්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇත්තේ කටාර් රාජ්‍යයටයි.

කෙසේවෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ සාම්ප‍්‍රදායික මැදපෙරදිග රටවලට වඩා යුරෝපීය රටවල් සහ අනෙකුත් රටවල්වලට ශ‍්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප‍්‍රවණතාවයක් ඇතිවෙමින් පවතින බවයි.

ඒ, ජපානය, මොරිෂස්, නවසීලන්තය, පෝලන්තය, රුමේනියාව, ස්විසර්ලන්තය යන රටවල් සඳහායි. එමෙන්ම වෘත්තිය රැකියා සදහා ශ‍්‍රමිකයින් යොමුවීම ද සියයට 11 කින් ඉහළ ගොස් තිබෙනවා.