Friday, April 26, 2024

General line - 0115112241

කුසල්ගේ පිත්තෙන් ශ‍්‍රී ලංකා පිළට අනපේක්ෂිත ජයක්

කසුන් කැලුම්




පරාජයන් රැල්ලකට හසුව සිටි ශ‍්‍රි ලංකා කි‍්‍රකට් කණ්ඩායම දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව අද (16) තියුණු ජයක් වාර්තා කළා. ඒ, ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කරමින්. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වූ කුසල් ජනිත් පෙරේරා විශ්ෂිඨ ඉනිමක් කී‍්‍රඩා කරමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 153ක්. 

ලකුණු 304ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම වරෙක ලකුණු 110කට කඩුළු 05ක් දැවී අසීරු තත්ත්වයක පසුවුණා. ධනංජය ද සිල්වා ශී‍්‍ර ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ඇති කලද ඔහු ලකුණු 48කට දැවී යාමත් සමග යළිත් දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මෙම තරගයේ පාලනය සියතට ගත්තා. කෙසේවෙතත් එක් අන්තයකින් සිය කඩුල්ල ආරක්ෂා කරමින් විශ්ව ප‍්‍රනාන්දු ශ‍්‍රී ලංකා පිල ජයග‍්‍රහණය කරා රැගෙන යාමට කුසල් ජනිත්ට අනගි සහයක් ලබා දුන්නා. කුසල් ජනිත් නොදැවී ලකුණු 153ක් රැස් කළේ සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ විශිෂ්ඨතම ඉනිම කී‍්‍රඩා කරමින්. විශ්ව ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 06යි. 

ඔවුන් දෙදෙනා 10වන කඩුල්ලට එක් කළ ලකුණු 78ක නොබිඳුනු සබඳතාව ලෝක වාර්තාවක් ලෙස සටහන් වුණා. ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකාවේදී ලද දෙවන ටෙස්ට් කි‍්‍රකට් ජයග‍්‍රහණය ද වෙය වනවා. මීට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අපි‍්‍රකාවේදී එවැනි දස්කමක් දැක්වූයේ 2011 වසරේදීයි. ඒ, තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වය යටතේයි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග‍්‍රහණයත් සමගම තරග 02කින් සමන්විත මෙම තරගාවලියේ 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා. දෙරට අතර දෙවන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 21වනදා පෝර්ට් එලිසබෙත්හිදී ආරම්භ වීමට නියමිතයි.