Saturday, April 27, 2024

General line - 0115112241

පාකිස්ථානය සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගය ඉන්දියාව වර්ජනය කළ යුතුයි : ඉන්දීය ක්‍රිකට් සංගමයෙන් ලිපියක්

දිනුක් හේවාවිතාරණ




එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්ථානය සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයෙන් ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා නොකළ යුතු බවට ඉන්දීය ක්‍රිකට් සංගමයේ ලේකම් සුරේෂ් බෆ්නා ලිපියක් මගින් ඉන්දීය ක්‍රිකට් පාළක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

කාශ්මීරයේ පුලාවාමා ප්‍රාන්තයේදී ඉන්දීය ආරක්ෂක හමුදා රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ඉකුත්දා එල්ලවූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් 40 දෙනෙකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානය සමග පැවැත්වෙන ලෝක කුසලාන තරගයෙන් ඉවත් විය යුතු බවයි එම ලිපියෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

" මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් මේ දක්වා විවෘතව කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ. එයින් පෙනී යන්නේ ඔවුන්ගේ පාර්ශවයෙන් යම් වැරැද්දක් සිදුවී ඇති බවයි. අපේ හමුදාවන් එරෙහිව එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය අපි හෙළා දකිනවා. මන්ද අපි ක්‍රීඩා සංගමයක් වුවත් ඒ සියල්ලට පෙර රට යනුවෙන් වන මතයේ අපි සැමදා සිටින්නේ" යැයි ඉන්දීය ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා සිය ලිපියේ සදහන් කර තිබෙනවා.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මැයි මස 30 වනදා සිට ජුලි මස 14 වනදා දක්වා එංගලන්තයේ සහ වේල්ස් හිදී පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සුදානම්ව තිබෙනවා.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් සංගම් කාර්යාලයේ පිහිටුවා තිබෙන ඉම්රාන් ඛාන්ගේ පිළිරුව ආවරණය කර දැමීමට එම සංගමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ජේෂ්-ඊ-මොහොමඩ් නම් පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන මූලධර්මවාදී ඉස්ලාමීය සටන්කාමි කන්ඩායම විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන වගකීම භාර ගන්නා ලදී.