Saturday, April 27, 2024

General line - 0115112241

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පහරදී ඝාතනය කොට පුළුස්සා දමලා : CID ය සියලු තොරතුරු හෙළිකර ගනියි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / ගුණරත්න ගමගේ-වලස්මුල්ල / රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




ජනවාරි මස 23 වෙනිදා ගාල්ල රත්ගම ප්‍රදේශයේදී පැහැර ගෙන ගිය මංජුල අසේල කුමාර සහ රසීන් චින්තක නම් පුද්ගලයින් දෙදෙනා පහරදී ඝාතනය කොට පුළුස්සා දමා ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශන වලදී කරුණු අනාරණය කර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් පෙබරවාරි මස 13 වනදා පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝගයකට අනුව සිදුකරන ලද විමර්ශනයේදී මෙම අපරාධය සම්බන්ධයෙන් සියලු කරුණු සතියක් ගත වීමට පෙර අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වීම විශේෂ කරුණක්.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගිය බවට කියන දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ උප පොලිස් පරීක්ෂකවරයෙක් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (21) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා රැගෙන ගොස් පහරදී මරා දමන ලද අක්මීමන, ගෝනාමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අද (22) සමත් විය. එම නිවස ගාල්ල මහේස්ත්‍රාත්තුමා විසින් ස්ථානීය පරීක්ෂාවක්ද සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

ඝාතනය කරන ලද ව්‍යාපාරිකයින් දෙදෙනාගේ මෘතශරිර අක්මීමන, ගෝනාමුල්ල ප්‍රදේශයේ සිට වලස්මුල්ල ප්‍රදේශයට ගෙන ගොස් එහි පිහිටි මැදගංගොඩ කණුමුල්දෙනිය රක්ෂිතයේදී පුළුස්සා දැමු බවට අදාළ උප පොලිස් පරීක්ෂකවරයා හෙළිකර ඇති අතර එම ස්ථානයද මේ වන විට විමර්ශන නිලධාරින් විසින් සොයා ගෙන ඇත.

අදාළ ස්ථානය වලස්මුල්ල මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ මහතා හා රජයේ රස පරීක්ෂක රොෂාන් ප්‍රනාන්දු ,මාතර මහරෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥය සුමිත් අබේපිටිය විසින් සිදුකරන ලද පරීක්ෂාවකදී මිනිස් අස්ථි කොටස් හා කෙස් සොයාගැනීමට හැකිවූ බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ.

එලෙස ව්‍යාපාරිකයින් දෙදෙනා පුළුස්සා දැමු ස්ථානය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ මාතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ සහයෝග ලබා ගෙන ඇති බවත් ඉදිරි විමර්ශනයන් විධිමත්ව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියි.