Saturday, April 27, 2024

General line - 0115112241

රත්ගම ඝාතනයේ තවත් තොරතුරු CID ය අනාවරණය කර ගනියි




රත්ගම බුස්ස ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) දිනයේදී ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අද දිනයේදී මාතර දෙවිනුවර වැල්ල මඩම ප්‍රදේශයේ පිහිටි නිවසක් අද දිනයේ සෝදිසියට ලක් කරනු ලැබුවා. එම නිවසේ පිටුපස වළක පුළුස්සා දමන ලද ජකට්ටුවක කොටසක් සහ ඇඳුම් කොටස් කිහිපයක් හා ජංගම දුරකථන දෙකක කොටස් සොයා ගැනීමට හැකියාව ලැබී  ඇත. මෙම ඇඳුම් සහ ජංගම දුරකථන කොටස් ඝාතනයට ලක්වූ පුද්ගලයින් දෙදෙනාගේ බවට සැකකර කරන අතර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මෙම නිවසේ කාමරයක නවාතැන් ගෙන සිටිය බවට ද තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති පුජිත් ජයසුන්දර නියෝග කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටියා.