Friday, April 26, 2024

General line - 0115112241

සාම යෝජනාවට ඉන්දියාව අකමැති වන ලකුණු : ඉන්දීය ගුවන් නියමුවා සාමය වෙනුවෙන් හෙට නිදහස් කරනවා - ඉම්රාන් ඛාන් කියයි

දිනුක් හේවාවිතාරණ




පාකිස්ථානය විසින් ඊයේ (27) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට (01) දිනයේදී නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. දෙරටේ සාමය සඳහා වන අභිප්‍රායක් ලෙස මෙම තීරණය ගත් බවයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටියේ.

පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරක යානා සමග උඩු ගුවනේදී ඇතිවූ ගැටුමකදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් මිග් 21 වර්ගයේ ප්‍රහාරක යානයක් අනතුරට ලක්වූ අතර එය පාකිස්ථාන දේශ සීමාවට කඩා වැටීමෙන් අනතුරුව එහි සිටි වින්ග් කමාන්ඩර් අභිමන්දන් වත්මන් පාකිස්ථාන ආරක්ෂක හමුදාවන් විසින් සිය අත්අඩංගුවට ගනු ලැබුවා. 

සිය ගුවන් නියමුවා ආරක්ෂා සහිතව තමන් වෙත යළි බාරදීමට පියවර ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ පිහිටි පාකිස්ථාන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ඊයේ සවසයි.

" මම ඊයේ දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී දුරකථනයෙන් ඇමතීමට උත්සහ කළා. ඒ අපට සටනකට යාමේ අවශ්‍යතාවයක් නොමැති බව දැනුම් දීමටයි. එලෙස අප ක්‍රියා කරන්නේ බියට පත් වීමෙන් නොවන බවද අවධාරණය කළ යුතු යැයි" පාකිස්ථාන අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

" සතුරාට අවශ්‍යව ඇත්තේ අපගේ දියුණුව අඩාල කිරීමටයි. ඒ සඳහා ඔවුන් අප වෙත ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබනවා. අප අපගේ හමුදාව කෙරෙහි විශ්වාස කරනවා. ඔවුන්ගේ චිත්ත ශක්තිය හීන වන කිසිදු දෙයක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ හේතුවෙන් එකම රටක් ලෙස අප ඉදිරියට සටන් කොට ජයග්‍රහණය අත්පත් කර ගැනීමට එකා වන්ව කටයුතු කරමු යැයි" භාරතීය ජනතා පක්ෂයේ විශේෂ රැස්වීමක් අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අද (28) කියා සිටියේ.

පාකිස්ථානය විසින් සාම සාකච්ජා සඳහා ඉන්දියාව වෙත සිදුකරන ලද ඇරයුම ඉන්දියාව විසින් පිළිනොගන්නා බව එරට ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා..