Saturday, April 27, 2024

General line - 0115112241

ත්‍රස්ත ප්‍රහාරයකට සැලසුම් කළ 10 දෙනෙක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




ජර්මනිය තුල ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ ත්‍රස්තවාදීන් 10 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. ඒ එරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් බුද්ධි අංශ වාර්තා සැලකිල්ල ගනිමින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදීය.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් 10 දෙනා වයස අවුරුදු 20 සහ 42 අතර පසුවන අයවළුන් බවයි එරට ආරක්ෂක අංශ හෙළිකර සිටින්නේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබී "තියුණු ආයුධ" සොයා ගෙන ඇති අතර මෙම ප්‍රහාරයන් සිදුකිරීම සඳහා අවශ්‍ය වාහන පවා ඔවුන් කුලී පදනම මත ලබා ගෙන ඇති බවට සිදුකරන ලද විමර්ශන වලදී හෙළිවී ඇත.

ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නගරයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම අන්තවාදී කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත්තේ හැකි තරම් ප්‍රහාර එල්ල කොට විශාල පිරිසකගේ ජිවිත විනාශ කිරීම බවයි සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවී ඇත්තේ.

මෙම පිරිස සිය ප්‍රහාරය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා ගැනීම සඳහා නීතිවිරෝධී ආයුධ සපයන පුද්ගලයෙක් සම්බන්ධ කර ගෙන ඇති බවටද කරුණු හෙළිවී ඇත. 

ඊට අමතරව මෙම පිරිස සතුව තිබී යුරෝ 20,000ක මුදලක්, ඉලෙක්ට්‍රොනික දත්ත ඇතුලත් චිප් කිහිපයක් සහ ලිපි ලේඛණ රැසක්ද ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් සිය භාරයට ගෙන ඇත.

2016 වසරේදී ජර්මනියේ නත්තල් සමයේ පිහිටි වෙළද කළාපයකට ලොරි රථයක් ධාවනය කිරීමෙන් එහි සිටි පුද්ගලයින් 12 දෙනෙක් මියගිය අතර එම රථය පදවන ලද පුද්ගලයා ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙක් බවට පසුව හෙළිවිය.