Friday, April 26, 2024

General line - 0115112241

බීමත්ව සිදු කළ අනතුර ගැන දිමුත් සමාව ඉල්ලයි

ඩිල්ෂාන් මඩවල




බීමත්ව රිය පදවා සිදු කළ රිය අනතුර සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. අනතුර සිදු වුණේ දිමුත් කරුණාරත්න විසින් පදවන ලද ජීප් රථය ත‍්‍රීරෝද රථයක ගැටීමෙනුයි. එම අනතුරෙන් තුවාල ලැබූ ත‍්‍රීරෝද රථයේ රියදුරාගෙන් තමා පළමුව සමාව ඉල්ලා සිටින බව ෆේස්බුක් සටහනක් තබමින් දිමුත් කරුණාරත්න ප‍්‍රකාශ කර තිබෙනවා. තමන් කටයුතු කළ ආකාරය ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයෙකුට කිසිසේත්ම යෝග්‍ය නොවන බව තමන් තේරුම් ගෙන සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. ඒ අනුව ඒ පිළිබඳ සියලූදෙනාගෙන් සමාව ඉල්ලා සිටින බවද දිමුත් කරුණාරත්න ප‍්‍රකාශ කර තිබෙනවා. 

අදාළ රිය අනතුර සිදු වුණේ බොරැුල්ල පොලිස් වසමේ කිංසි පාරේදීයි. ඊයේ (31) අලූයම 05යි 15ට පමණ එම අනතුර සිදු වූ අතර දිමුත් කරුණාරත්න එහිදී අත්අඩංගුවට ගැණුනා. පසුව, පොලිස් ඇප මත මුදා හැරුණු ඔහු අදාළ නඩුව සඳහා අද (01) කොළඹ රථ වාහන පොලිසිය හමුවේ පෙනී සිටියා. එහිදී දිමුත් කරුණාරත්න වෙනුවෙන් අධිකරණය වෙත කරුණු දැක්වූයේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්නයි. 

අනතුර සිදුවූ අවස්ථාවේ දිමුත් කරුණාරත්න බීමත්ව සිටි බව ශ්වසන පරීක්ෂාවකින් තහවුරු වූ බව පොලිසිය අධිකරණය වෙත කියා සිටියා. කෙසේවෙතත් පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නැතැයි අනතුරට ලක්වූ ත‍්‍රීරෝද රථයේ රියදුරා ප‍්‍රකාශයක් ලබාදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මෙලෙස අනතුරට ලක්වූ ත‍්‍රීරෝද රථයේ රියදුරා පැමිණිල්ල සමථ කර ගැනීමට කැමැත්තෙන් සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ද පැවසුවා. 

දිමුත් කරුණාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ අනතුර සිදු වූ වහාම ත‍්‍රීරෝද රථයේ රියදුරු ගිලන් රථයක් මඟීන් රෝහල්ගත කිරීමට දිමුත් ක‍්‍රියාකර ඇති බවයි. හානි වූ ත‍්‍රීරෝද රථය වෙනුවට අලූත් ත‍්‍රීීරෝද රථයක් ලබාදීමට ද දිමුත් එකඟ වී ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

කරුණු සලකා බැලූ මහේස්ත‍්‍රාත් අධිකරණය දිමුත් කරුණාරත්න ඇප මත මුදා හැරි අතර ඔහුගේ රියදුරු බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළා. නඩුව ලබන මැයි මස 02 වනදා යළි කැඳවීමට නියමිතයි.