Friday, April 26, 2024

General line - 0115112241

අද සිදුවූ පිපිරීම් ගැන ආන්දෝලනාත්මක ලිපියක් පැතිරේ




එක්තරා අන්තවාදී සංවිධානයක විසින් ශ්‍රී ලංකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් සකස් කර ඇති බවට රාජ්‍ය බුද්ධි අංශය මගින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතට වාර්තාවක් භාරදී ඇති බවට පළවන පුවතක් සම්බන්ධයෙන් වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා.

මෙම ලිපියට අනුව එම අන්තවාදී සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල කිරීමේ සුදානමක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය විසින් පසුගිය අප්‍රේල් මස 11 වෙනිදා වගකිවයුතු අංශ වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත ලිපියක් මාර්ගයෙන් වැඩිදුර තොරතුරු ලබාදී ඇති අතර අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා විසින් අදාළ වගකිවයුතු අංශ වෙත ලිපියක් මාර්ගයෙන් උපදෙස් ලබා දී ඇති බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

මෙම ලිපියේ සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් මේ දක්වා ආරක්ෂක අමාත්‍යාංශය හෝ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහවුරු කිරීමක් සිදුකර නැහැ.

ඒ හේතුවෙන් මෙම ලිපිය සම්බන්ධයෙන් පුර්ව නිගමනයකට එළඹී තීරණ ගැනීමෙන් වැලකී සිටින ලෙස වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වශයෙන් සමස්ත ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.