Friday, April 26, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය වාරණයේදී සමාජ ජාල වෙත පිවිසීම ගැන කළ සමීක්ෂණයේ හෙළි වූ කරුණු

දිනසේන රතුගමගේ




පසුගිය සමයේ සමාජ මාධ්‍ය වාරණය සම්බන්ධයෙන් රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මෘදුකාංග ඉංජිනේරු පැතුම් රත්නායක සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ජනතාව අතරට පත්වීම වැළැක්වීමේ අරමුණින් රජය සමාජ ජාලා වාරණයකට ලක් කළත් මේ කාලය තුළදී 58% ක් පමණ VPN තාක්ෂණය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලාවලට පිවිසී ඇති බවයි.

නමුත් සමීක්ෂණයට භාජනය  වූ අයගෙන් 95% ක්ම VPN තාක්ෂණය පිළිබඳව නිසි තොරතුරු හෝ නිසි අවබෝධයක් නොමැතිව ඊට එක්ව සිටි බවට තොරතුරු හෙළි වූ බවද රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය පැතුම් රත්නායක පවසනවා. මෙහිදී  9% පමණ තම මතය සහ භාවිතය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබෙනවා. 

ඇතැම් පිරිසක් VPN තාක්ෂණය තම ජංගම දුරකතනවලට භාගත කිරීම සඳහා දුරකතන අලෙවි සැල්වලට මුදල් ගෙවා (රුපියල් 100 ක් වැනි මුදලක්)  තිබූ බවද සදහන් කළා.

සමීක්ෂණය පිළිබඳව තව දුරටත් අදහස් දැක් වූ පැතුම් රත්නායක කියා සිටියේ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය වාරණයක් සිදුවූ ප්‍රථම අවස්ථාව ලෙස බොහෝ දෙනාගේ අවධානය යොමු වූයේ 2018 දිගන ප්‍රදේශයේ සිදුවීමෙන් පසු රජය විසින් කළ වාරණය බවයි. 

ඇතැම් උපකාරක පංති ගුරුවරුන් තම විෂය කරුණු ඉගැන්වීම වෙනුවට සිසුන්ට VPN සහ ඒවා ස්ථාපිත කරගන්නා ආකාරය ඉගැන්වූ බවටද මෙම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනුරාධපුර නගරයේ උපකාරක පංති සඳහා සහභාගී වන සිසුන් සහ නගරයේ ගැවසෙන තරුණ තරුණියන් 250 කට අධික ප්‍රමාණයක් සහභාගී කරගන මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.