Saturday, April 27, 2024

General line - 0115112241

ගැටළුව ගැන සොයන්න විශේෂ සෞඛ්‍ය කණ්ඩායමක් කුරුණෑගලට

තරංග රුක්ෂාන්/මහේෂ් චතුරංග




කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා කිසියම් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ වී ඇත්දැයි සොයා සෞඛ්‍ය අමාත්‍යංශය ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් කුරුණෑගල රෝහල වෙත යොමු කරන බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කඩිනමින් මූලික විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමට ප‍්‍රමුඛ අවධානය යොමු කර ඇති බවද ඔහු සඳහන් කළා. මෙම සැකකාර වෛද්‍යවරයා සම්බන්ධ බව කියන දරුවෙකු මාරු කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනය අවසන් බවයි වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා සිසේරියන් සැත්කම් සිදු කරන අවස්ථාවේ නීති විරෝධීව මව්වරුන් වන්ද්‍යකරණය කර ඇති බවට සමාජයේ මතුව ඇති දැඩි කතාබහ හේතුවෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය සඳහන් කළා. පොලිස් පරීක්ෂණයට අමතරව වෙනම පරීක්ෂණයක් ලෙස මෙය සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. 

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා ලියාපදිංචි වෛද්‍යවරයෙකු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියා. කෙසේවෙතත් ඔහු සිය ලියාපදිංචිය අලුත් කර ඇත්දැයි සොයා බලන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.