Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නැව් දෙකකට අරාබි මුහුදේදී "ටර්පිඩෝ" ප්‍රහාරයක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඕමාන මුහුදු කලාපයේ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු නැව් දෙකකට එල්ලවූ ප්‍රහාරයක් සමග මැදපෙරදිග කලාපයේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබෙනවා. මෙම නෞකා දෙකට ටර්පිඩෝ සහ කාන්දම් බෝම්බ ප්‍රහාරයන් එල්ල වන්නට ඇති බවයි සැකපළ කරන්නේ.

කටාර් හි සිට තායිවානය දක්වා පෙට්ට්‍රෝ කෙමිකල් ටොන් 75,000 ක් ප්‍රවාහනය කරමින් තිබු MT Front Altair නම්වූ නොර්වේ ව්‍යාපාරිකයෙකුට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවකට එල්ලවූ "ටර්පිඩෝ" ප්‍රහාරයත් සමග එම නැව ගිනිගෙන මුහුදුබත්වී ඇති බවට ඉරාන රජයේ මාධ්‍ය විසින් නිවේදනය කර සිටිනවා. කෙසේ වෙතත්  MT Front Altair නෞකාවේ හිමිකරු පවසන්නේ නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය බේරා ගෙන ඇති බවත් නෞකාව මුහුදුබත්වී නොමැති බවයි.

මේ අතර පැනමාවට අයත් Kokuka Courageous නම් නෞකාවට කාන්දම් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. එම නෞකාව තුල ගින්නක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ප්‍රහාරයන් එල්ලවීමත් සමග එම නෞකාවන් මගින් උදව් ඉල්ලා නිකුත් කරනු ලැබූ සංඥාවන් තමන්ට ලද බවත් ඒ අනුව අවශ්‍ය සහය සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කළ බවට බහරේන් හි ස්ථානගතවී සිටින අමෙරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණිය සදහන් කර සිටියි. ඒ අනුව සිදුකළ මෙහෙයුම් මගින් ප්‍රහාර එල්ලවූ නෞකාවන් හි සිටි නැවියන් 44 දෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවයි අමෙරිකානු නාවික හමුදාව සදහන් කර සිටියේ.

මේ අතර පසුගිය මාසයේදී ද ගල්ෆ් මුහුදු කලාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා 04කට මෙවැනි ආකාරයේ ප්‍රහාර එල්ලවූ අතර අමෙරිකාව ප්‍රමුඛ මැදපෙරදිග රටවල් එම ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉරානයට චෝදනා එල්ලකරනු ලැබුවා. කෙසේ වුවත් ඉරානය එම චෝදනා වලට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර සිටියේ තමන් එම ප්‍රහාර වලට සම්බන්ධ නොවූ බවයි.

මේ අතර මැදපෙරදිග කළාපයේ ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය සමනය කර ගැනීමේ අරමුණින් යුතුව ජපාන අගමැති ෂින්සෝ ඇබේ අද දිනයේදී ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමිනි සමග සාකච්ජවක්ද පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.