Friday, April 26, 2024

General line - 0115112241

වාර්තා පොත් අළුත් කරමින් එංගලන්තය ඇෆ්ගනිස්ථානය අසරණ කරයි

දිනුක් හේවාවිතාරණ




ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයේදී එංගලන්තය සිය නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු  397ක් රැස්කර ගනු ලැබුවා. අද තරගයේදී වාර්තා කිහිපයක්ම අළුත් වීමද විශේෂත්වයක්.

එංගලන්තය ලබා ගත් මෙම ලකුණු 397, ලෝක කුසලාන තරගාවලියකදී ඔවුන් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම මෙම ඉනිමේදී එංගලන්ත පිතිකරුවන් හයේ පහරවල් 25 ක් එල්ල කරනු ලැබූ අතර එක්දින තරගයකදී කණ්ඩායමක් විසින් එල්ල කරනු ලැබූ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙසයි එය වාර්තා පොත් අතරට එක්වුයේ.

එංගලන්ත නායක ඊයන් මෝගන් පන්දු 71ක් තුලදී ලකුණු 148ක් රැස් කර ගනු ලැබූ අතර එහිදී ඔහු හයේ පහරවල් 17ක් එල්ල කරනු ලැබුවා. පිතිකරුවෙක් එක්දින ඉනිමකදී එල්ල කරනු ලැබූ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව ලෙසයි එය වාර්තා වන්නේ.

ඊට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාදුන් පන්දු යවන්නා ලෙස ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රෂිඩ් ඛාන් අද පත්වීමද විශේෂත්වයක්. එංගලන්ත පිතිකරුවන් ඔහුගේ පන්දුවාර 9 තුලදී ලකුණු 110 ක් රැස් කර ගැනීමට සමත් විය.

අද පැවති තරගයේදී එංගලන්ත කණ්ඩයම වෙනුවෙන් ඊයන් මෝගන් ලකුණු 148ක් , ජොනි බෙයාර්ස්ට්‍රෝ 90, ජෝ රූට් ලකුණු 88ක් සහ මොයින් අලි පන්දු 9 ක් තුල නොදැවී ලකුණු 31ක් රැස් කර ගනු ලැබුවා.