Tuesday, March 19, 2024

General line - 0115112241

පුත්තලමේ මිරිදිය යෝධ අඬු ඉස්සන්ගේ අස්වැන්න වැඩි වේ (PHOTOS)

ජූඩ් සමන්ත




ජලජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් වැව්වල වගා  කර ඇති "මැක්ක්‍රොබේරියම් රොසෙන් බර්ජි" නම් විද්‍යාත්මක නාමයෙන් හදුන්වන"කර අඬු ඉස්සා" හෙවත් "මිරිදිය යෝධ අඬු ඉස්සා"ගේ අස්වැන්න මේ දිනවල බහුලව නෙලා ගැනීමට පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයින්ට හැකියාව ලැබී තිබෙනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති වැව් බොහෝමයකට මිරිදිය යෝධ අඬු ඉස්සො පැටවුන් මුදා හැරීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණා. මීට මාස 06 කට පමණ පෙර මුදා හරින ලද ඉස්සන් පැටවුන් මේ වන විට හොඳින් වැඩී අස්වැන්න නෙළන තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. 

මෙම මිරිදිය යෝධ අඬු ඉස්සන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 1000 ත් 1300 ත් අතර මිලකට අලවි කරනවා.

මෙම ඉස්සන් වර්ගය ජීවත්වන්නේ කරදියේ වුවත් එම සතුන් තම අභිජනන කටයුතු සඳහා කරදිය මිශ්‍ර මිරිදිය සොයා පැමිණීම සිදු කරයි. මෙම තත්ත්වය නිසා වැව්වල ජීවත් වන මෙම ඉස්සන් ආක්‍රමණශීලී නොවන මිරිදිය සත්ත්ව කොට්ඨාශයක් ලෙසද හදුනා ගෙන තිබෙනවා.

මෙරටට ආවේනික මෙම ඉස්සන් වර්ගය තව තවත් මෙරට ඇති වැව්වලට මුදා හැර ඒ තුළින් මිරිදිය ධීවරයන්ගේ ජීවන තත්ත්වය නංවාලීම මෙන්ම මෙරටට විදේශ විනිමය ලබා ගැනීමට දායකත්වය සැපයීම අරමුණ බවයි ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.