Tuesday, March 19, 2024

General line - 0115112241

ගම්මාන 12ක් යළි මතු කරමින් මොරගහකන්ද හිඳෙයි (PHOTOS)

කාංචන ආරියදාස




මොරගහකන්ද ජලාශයේ පසුගියදා පැවති උපරිම ජල සීමාව අක්කර අඩි හාරලක්ෂ හටදහසකි. මේ දිනවල පවතින දැඩි  වියළි කාලගුණික තත්ත්වයත් සමග  මොරගහකන්ද ජලාශයේ ජලය අනෙකුත් ජලාශවලට මුදා හැරීම හේතුවෙන් ඉතිරිව ඇත්තේ අක්කර අඩි එක්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සීය අසූ දෙකක් පමණයි.

විශාල වශයෙන් ජලය සිඳී යාමත් සමඟ නාඋල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත්ව ජලාශයට යට වුණු ගම්මාන 12 ක් පමණ මේ වන විට නැවත මතුවී තිබෙනවා.

ජනතාව පදිංචි වී සිටි නිවාසවල ඉතිරිව ඇති කොටස් ජලයෙන්  මතුවී තිබීම හේතුවෙන් ප්‍රදේශවාසී බොහෝ දෙනෙකු තම ගම්බිම් පැවති ස්ථාන දැකබලා ගැනීමට යළි පැමිණෙන බවයි nethnews.lk වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ පැමිණෙන බොහෝ දෙනෙකු තමන්ගේ නිවාස සහ ගම්මාන දැක දැඩි සිත් වේදනාවෙන් හඬා වැටෙමින් සිටිනවා. ඔවුන් සඳහන් කරන්නේ රටේ සංවර්ධනයට තම දේපළ ලබාදුන්නද පරම්පරා ගණනාවක් හැදී වැඩුණු ගම්බිම් නැවත දිස් වන විට මුදලට මැනීය නොහැකි වේදනාවක් හදවත්වලට දැනෙන බවයි.

පසුගිය කාලයේ මෙම ප්‍රදේශය අඩි 40 කට ඉහළ ජල ධාරිතාවක් පැවති බවට දැකගන්නට තිබෙනවා.

තම ගම්බිම් අතහැර ගියද නිසි පහසුකම් ලබා නොදීම නිසා තවමත් කොටසක් අන්ත දුගී භාවයට පත්ව සිත් වේදනාවෙන් පසුවෙන බවද එහි සිටි තවත් පිරිසක් සඳහන් කරනවා. ඒ අතර ආර්ථික ප්‍රශ්න සහ ජානීය ජල ගැටලුද වන බවයි කියා සිටියේ.

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී එම්. දයානන්දගෙන් විමසීමේදී කියා සිටියේ මේ වන විටත් ජලාශයේ ජලය පහළ ප්‍රදේශයේ ගොවිතැන් සඳහා  මුදාහැර තිබෙන බවයි.