Saturday, April 27, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට මරණ දඬුවම හිමිවිය යුතුයි : ජනාධිපති




කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පැළෑද රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සර්වඥ ධාතු මන්දිරය, පුස්තකාලය සහ ධර්ම මන්දිරය සඝ සතු කොට පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට අද (16) පස්වරුවේ එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට වන සූදානම අප්‍රේල් 21 වනදා මහා විනාශයක් සිදු කරමින් 300කට ආසන්න අහිංසක ජනතාවගේ ජීවිත උදුරාගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවට අදාළ වගඋත්තරකරුවන්ට හිමිවිය යුතු දඩුවම වළක්වාලීමට ද ගන්නා උත්සාහයක් බව තමා විශ්වාස කරන බවයි.

මෙරට අපරාධ නීතියට අනුව මිනී මැරුමකට, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ද වැරදිකරුවෙකු වුවහොත් මරණීය දණ්ඩය හිමිවන අතර මරණීය දණ්ඩය අහෝසි කිරීමට ආණ්ඩුවේ ඇතැම් පිරිස් ගන්නා උත්සහය තුළින් එම කිසිදු අපරාධකරුවෙකුට දඩුවම් ලබාදීමට නොහැකි වන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

මහබැංකු මංකොල්ලයට අදාළ සියලු වගඋත්තරකරුවන් ද මේ වන විට සොයාගෙන තිබෙන අතර, ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, රටින් පිට සිටින අයට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති අතරම, අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමා සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා  සමග පෞද්ගලිකවම සාකච්ඡා කර ඇති බවත්, එම සියලු පරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේ.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සෑම අයෙක්ම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඒ අයට විරුද්ධව පරික්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, ඔවුන්ට එරෙහිව පැහැදිළි සාක්ෂි තිබෙන අතර නිති පොතට අනුව ඔවුන්ට ද මරණීය දණ්ඩනය හිමි විය යුතු බවයි.

සමාජයක් යහපත් කිරීමට රාජ්‍ය පාලනය තුළ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු අතර දණ්ඩනයට බිය විම තුළින් සමාජය තුළ වැරදි අවම වී යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.