Saturday, April 27, 2024

General line - 0115112241

ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇමෙරිකාවේදී දුන්නු දඬුවම

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලොව ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන මෙක්සිකෝවේ ජෝකුයින් ගස්මන් නොහොත්, එල් චාපෝ හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ, අමෙරිකානු අධිකරණයක් මගින්. ඊට අමතරව ඔහුට එරෙහිව වසර 30ක සිරදඬුවමක් ද පනවා ඇති අතර අමෙරිකානු ඩොලර් බිලියන 12 යි දශම 6ක් වන ඔහුගේ වත්කම් ද රාජසන්තක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

62 හැවිරිදි වියේ පසුවන එල්චාපෝට එරෙහිව අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් මගින් චෝදනා 10ක් ගොනු කර තිබුණා. මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම මුදල් විශුද්ධිකරණය යන චෝදනා ද ඊට ඇතුළත්. ඊට අමතරව බාලවයස්කාර දැරියන් හට මත්ද්‍රව්‍ය ලබා දී ඔවුන් ලිංගික අපයෝජනයන්ට ලක් කිරීම, පුද්ගල ඝාතන, පැහැර ගැනීම් සහ වධහිංසාවන්ට ලක් කිරීම් සම්බන්ධයෙන් ද එල්චාපෝට එරෙහිව චෝදනා එල්ල වනවා. 

මෙක්සිකෝ රජය මගින් 2014 වසරේදී අත්අඩංගුවට ගැනුණු එල්චාපෝ, උමගක් හරහා බන්ධනාගාරයෙන් පලා ගියා. එහෙත් පසුව යළි අත්අඩංගුවට  ගැනුණු එල්චාපෝ අමෙරිකාවට පිටුවහල් කිරීමටයි මෙක්සිකෝ බලධාරීන් කටයුතු කළේ. අමෙරිකාවට මත්ද්‍රව්‍ය සපයන විශාලතම ජාවාරම්කරු වන්නේ ද එල්චාපෝයි.

සුපිරි ධනවතෙකු වන ඔහුගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා ඉතා සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිටිනවා. ද ෆෝබ්ස් සගරාව 2009 වසරේදී එල්චාපෝව නම් කර තිබුණේ ලොව 701 වන ධනවතා ලෙසයි. එම සගරාවට අනුව එවකට ඔහුගේ වත්කම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක්.