Friday, April 26, 2024

General line - 0115112241

විරෝධතාකරුවන් හොංකොං ගුවන් තොටුපළ වසයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හොංකොං රජයට එරෙහිව සති 10 ක පමණ කාලයක් පුරා ක්‍රියාත්මක වෙමින් ඇති මහජන විරෝධතා හේතුවෙන් මේවනවිට එරට දේශීය මෙන්ම විදේශීය ගමනාගමන කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ විරෝධතාකරුවන් හේතුවෙන් ලොව කාර්යය බහුලතම ගුවන් ගමන් මධ්‍යස්ථානයක් වන හොංකොං ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයේ සියලු මෙහෙයුම් අත්හිටුවීමට එරට බලධාරීන්ට සිදුවූ බවයි. ඒ අනුව ගුවන් ගමන් වාර 160ක් පමණ අත්හිටුවා ඇති අතර ගුවන් ගමන් කටයුතු සඳහා හොංකොං ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් වළකින ලෙස ද බලධාරීන් ගුවන් මගීන්ගෙන් ඉල්ලීමක් කළා.

එහෙත්, ගුවන් තොටුපළ වෙත ගුවන් යානා ගොඩබෑම බාධාවකින් තොරව සිදුවන බැවින් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සාමාන්‍ය පරිදි සලසා ඇති බවයි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ. 

විරෝධතාකරුවන් 5,000 ක් පමණ ගුවන් තොටුපළට කඩා වැදුණු අතර ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා බැටන් පොලු ප්‍රහාර එල්ල කර තිබෙනවා. එහිදී දෙපාර්ශවය අතර ගැටුම් ද හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර හොංකොං රාජ්‍යයේ පිහිටි භූගත උමං දුම්රිය මාර්ග 02 ක මෙහෙයුම් කටයුතු සඳහා ද විරෝධතාකරුවන් බාධා එල්ල කළා.

කඳුළු ගෑස් හා රබර් උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. එහිදී හටගත් ගැටුම්වලින් විරෝධතාකරුවන් රැසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.