Friday, April 26, 2024

General line - 0115112241

වැසි සහ සුළං තවදුරටත් - කළු ගගේ ජල මට්ටමත් ඉහළට




පවතින වැසි තත්වයත් සමඟ කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබෙනවා. වාර්මාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම ප්‍රදේශයෙන් ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. රත්නපුර ප්‍රදේශයෙන් ද කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමක් පෙන්නුම් කළ ද මේ වනවිට එය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා.

නිල්වලා ගඟේ ජල මට්ටම ද පානඳුගම ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබුණා. මේ වනවිට එම ජල මට්ටම ද ක්‍රමයෙන් අඩු වෙමින් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. කැළණි ගඟේ සහ ගිං ගගේ ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්වයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, කළු ගඟ අවට සිටින ජනතාව ගංඟාවේ ජල මට්ටම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. මේ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

පවතින වැසි තත්වයත් සමඟ නුවරඑළිය, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ද ජනතාව දැඩි අවදානයක් යොමු කළ යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක පැවසුවේ. 

දිවයින වටා මුහුදේ කාලගුණික තත්වය සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කෙරුණා.

මේ අතර ඕනෑම හදිසි ආපදා තත්වයකට මුහුණ දීමට රජය සූදානම් බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. විපතට පත්වන පුද්ගලයින් මුදා ගැනීමට සහ ඔවුන්ට සහන සැලසීම සඳහා සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

හදිසි ගංවතුර තත්වයකදී ක්‍රියාත්මකවීම සඳහා නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමට ද මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුට විපතක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයා හෝ ක්ෂේත්‍ර නිලධාරියෙකු මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ද අමාත්‍ය වජිර අබේවර්ධන ජනතාවට දැනුම් දෙනවා.