Friday, April 26, 2024

General line - 0115112241

මෙරටට ගේන කිරිපිටි ගැන අලුත් අනාවරණයක්

සජිත් තිලකරත්න




මෙරට ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු නොමැති බවට විදේශීය පරීක්ෂණයකින් ද තහවුරු වී තිබෙනවා. 

පරීක්ෂණය සිදු කර ඇත්තේ ජර්මනියේදීයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මෙම පරීක්ෂණය සඳහා යොමුකර ඇත්තේ, වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල බවයි. 

මෙරට ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් සිදු කළා. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම කිරිපිටි ආනයනයට අවසර දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද වගකිව යුතු බවයි. 

මෙම ප‍්‍රකාශය ඉකුත් සමයේ සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. අනතුරුව මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කළේ ආනයනික කිරිපිටිවල සත්ත්ව තෙල් අඩංගු නොවන බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා කළ දැනුම් දීම මත වෙළඳපොලෙන් ලබාගත් කිරිපිටි සාම්පල මෙලෙස පරීක්ෂණයකට යොමු කෙරුණා.

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි අවස්ථා කිහිපයකදී පරීක්ෂාවට ලක් වනවා. රේගු නිලධාරීන්ගේ පරීක්ෂණවලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරු විසින් ද එම බහාලුම්වල නියැදි ලබා ගැනීම සිදු කරනවා. 

ඉන් අනතුරුව එම නියැදි පරමාණුක බලශක්ති අධිකාරියට යොමු කරන්නේ විකිරණ තිබේදැයි පරීක්ෂා කිරීම සඳහායි.  ඊට අමතරව කිරිපිටිවල අඩංගු මේදයට අමතරව තවත් මේද වර්ග අඩංගු දැයි පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත ද එම කිරිපිටි නියැදි යොමු කිරීම සිදු වනවා. 

බැක්ටීරියා පරීක්ෂණය සඳහා කිරිපිටි නියැදි යොමු කරනු ලබන්නේ බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට සහ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයටයි. කිරිපිටිවල ඩී.සී.ඩී. අඩංගුදැයි පරීක්ෂා කිරීම සඳහා එම නියැදි කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කිරීම සිදු වනවා. 

මෙම ක්‍රියාවලියෙන් පසුව කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප‍්‍රමිති කාර්යයාංශය ද පරීක්ෂණයක් සිදු කරනවා. මෙලෙස සිදු කරන පරීක්ෂණවලින් එකක හෝ ගැටලුවක් ඇත්නම් අදාළ කිරිපිටි බහාලුම් ප‍්‍රතික්ෂේප කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. 

කිරිපිටි අඩංගු බහාලුම් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට පෙර කිරිපිටිවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මෙරට ආහාර පාලන ඒකකය විසින් අදාළ රටෙහි ආහාර බලධාරීන්ගෙන් සහතිකයක් ද ලබා ගනු ලබනවා.