Friday, April 26, 2024

General line - 0115112241

තෙවරප්පෙරුම ගැන පැමිණිලි නෑ




නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ හැසිරීම් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් තමන් වෙත තවමත් ලැබී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසනවා.

 

යම් තැනැත්තෙකුට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගත හැක්කේ එම තැනැත්තාට එරෙහිව කිසියම් පැමිණිල්ලක් ලැබුණහොත් බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

 

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සම්බන්ධයෙන් වුවද එවැනි පැමිණිල්ලක් ලැබුණහොත් විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

 

ඉකුත් ආණ්ඩුව සමයේදී වයඹ පළාත් සභාවේ මන්ත‍්‍රීවරයෙකු වූ ආනන්ද සරත් කුමාර මහතා ගුරුවරියක දණගැස්වූ බවට චෝදනාවට ලක්වුණා. මෙම චෝදනාවෙන් පසු ඔහුට එරෙහිව විනය පියවර ගැනීමට ඔහු නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළා.

 

ඉකුත් දින කිහිපයේදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී අක‍්‍රමිකතා සිදුව ඇතැයි පවසමින් පාසල් අහිමි වූ ළමයින් පිරිසක් පාසල්වලට ඇතුළත් කරගන්නැයි බලකරමින් උද්ඝෝෂණවල නිරත වුණා.

 

එහිදී විදුහල්පතිවරයෙකු පහරදීමකට ද ලක්වූ බව ඇතැම් අය ප‍්‍රකාශ කළා.

 

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම නිසා පාසල් ළමයින් ද නොමග යා හැකි බවයි අධ්‍යාපන නිලධාරීන් පැවසුවේ.

 

නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනය පියවර ගන්නේ දැයි නෙත් නිවුස් එක්සත් ජාතික පක්ෂයෙන් විමසා සිටියේ මෙම පසුබිම යටතේයි.