Friday, April 26, 2024

General line - 0115112241

අප්‍රිකාවේ උසම කදු වැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු දිවයිනට (PHOTOS)




අප්‍රිකානු මහද්වීපයේ ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කදුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු අද දිවයිනට පැමිණියා. එම කදුවැටිය ලෝකයේ හුදකලාව පිහිටි උසම ශේෂ කන්ද ලෙස සැලකෙනවා.

එමෙන්ම එය අප්‍රිකානු මහද්වීපයේ ඇති උසම කදු වැටිය ලෙසයි සැලකෙන්නේ. කදු වැටිය තරණය කළ තරුණයන් දෙදෙනා වන රංග මදුපත්ම සහ සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා  වෘත්තියෙන් ගණකාධිකාරීවරුන් වනවා. 

මෙහිදී සිය අත්දැකීම් විස්තර කළ රංග මදුපත්ම, 

" අපි මේ කන්ද නගින්න ආරම්භ කලේ පසුගිය 16 වෙනිදා. මේ කන්ද අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උසයි. මේ කන්ද දැනට අක්‍රිය ගිනි කන්දක්. ඒත් මීට වසර 200 කට විතර පෙර යම් විදාරණය වීමක ලක්ෂණ පෙන්නුම් කරල තියෙනවා. මෙම කිලිමැන්ජාරෝ කදු වැටිය වර්ග කිලෝ මීටර් 756 පුරා පැතිරුණ, යුනෙස්කෝ සංවිධානය විසින් ද ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කරල තියෙන තැනක් .

මේ කන්දෙ කිබෝ , මාවෙන්සි සහ ෂිරා කියල ප්‍රධාන කදු මුදුන් තුනක් තියෙනවා . එයින් උසම තැන කිබෝ කදු මුදුනේ තියෙන උහුරු නැමැති ස්ථානයි.
විශාල ජෛව විවිධත්වයකින් යුතු , ප්‍රධාන දේශගුණික කළාප පහකින් සමන්විත මේ කදු වැටියේ උසම තැනට දින පහක් තිස්සේ නැගලා පසුගිය 20 වෙනිදා අපි "උහුරු" වෙත ළගා උනා. එතැන විනාඩි 10 කට වඩා ඉන්න අමාරුයි . හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් අපිට ඇති තරම් එතැන නැහැ .

ජර්මානු සහ ඇමෙරිකානු තරුණයන් කීප දෙනෙක් ද මේ කන්ද නගින්න ඇවිත් හිටියා . පසුගිය මාසෙ මේ කන්ද නගින්න ආව තරුණයෝ හතර දෙනෙක් , කන්ද නගින අතරතුර දී මිය ගිහින් තිබුණා. අපිට ලොකු සහයක් එරට මග පෙන්වන්නන් ලබා දුන්නා යැයි ඔහු කියා සිටියා".