Friday, April 26, 2024

General line - 0115112241

පකිස්තානු සංචාරය ගැන ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාව ඇරඹේ

කසුන් කැලුම්




පකිස්තානු තරග සංචාරය සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් බලධාරීන් අතර සාකච්ඡාවක් දැන් පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදීයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා නෙත් ස්පෝට්ස්මන් වෙත සඳහන් කළේ මෙම සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඇතුළු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එක්ව සිටින බවයි.

පකිස්තානයේ ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ද මොහාන් ද සිල්වා ප්‍රකාශ කළා. පකිස්තානු තරග සංචාරයට එක්වීම සඳහා ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් අකමැත්ත පළ කර ඇති බව නෙත් ස්පෝට්ස්මන් ඊයේ (08) උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කරුණු අනාවරණ කළා.

ඉකුත් දා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද කියා සිටියේ ඇතැම් ක්‍රීඩකයින් මෙම සංචාරයට එක්වීමට අකමැත්තෙන් පසුවන බවයි. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බස් රථයේ සිටි සුරංග ලක්මාල් තවමත් ඒ පිළිබඳ භීතියකින් පසුවන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.  

එක්දින තරඟ 03 කට සහ විස්සයි විස්ස තරඟ 03 කට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 25 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරඟයක් සඳහා පමණක් 2017 වසරේදී පාකිස්ථානයේ තරඟ සංචාරයක නිරත වුණා. 

ඒ, තිසර පෙරේරාගේ නායකත්වය යටතේයි. ඉසුරු උදාන, ධනුෂ්ක ගුණතිලක, සීකුගේ ප්‍රසන්න, දසුන් ශානක, අශාන් ප්‍රියංජන්, ඇතුළු ක්‍රීඩයින් පිරිසක් එම තරඟ සංචාරයට එක් වුණා. කෙසේවෙතත්, පකිස්තානු රජය සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයට සහතික වී ඇත්තේ මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සැපයෙන ආරක්ෂාවක් ලබාදෙන බවටයි.