Wednesday, May 8, 2024

General line - 0115112241

තවත් අයෙක් ශ්‍රීලනිපයට එරෙහිව නඩු මගට

සමන්ත කුමාර/දිල්ශාන් තුෂාර




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිය සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතියේ සහන පතන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. මන්තී‍්‍රවරයා ඒ බව පැවසුවේ විනය චෝදනා එල්ල වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරුන් 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර ඊයේ (14) කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්. 

එහිදී "මේගොල්ලොන්ට කවුරු උපදෙස් දෙනවද දන්නේ නෑ. කරන්නේ ඔක්කොම නීති විරෝධී වැඩ. කරපු සෑම දේකින්ම උසාවි ගිහින් පැරදුණා. මේකෙත් කවුරුහරි වැරදි උපදෙසක් දීලා තියෙනවා. අපිව තහනම් කරන්න පුළුවන් කියලා. එහෙම තහනම් කරන්න බෑ." යනුවෙන් ද සඳහන් කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇත්තේ ඒ. එච්. එම්. ෆවුසි, එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ විජිත් විජයමුණි ද සොයිසා යන මන්තී‍්‍රවරුන්ගේයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම තීරණයට එරෙහිව නීතියේ සහන පතන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක ද මීට පෙර ප‍්‍රකාශ කළා. 

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී තමන් සහය දක්වන්නේ කාටදැයි තවමත් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. මුස්ලිම් මහජන නියෝජිතයින් සාමූහිකව සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට අදහස් කරන බවයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසුවේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග ද ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඒ. එච්. එම්. ෆවුසි මන්තී‍්‍රවරයා මෙහිදී කියා සිටියා.