Friday, April 26, 2024

General line - 0115112241

මෝදි සහ ඉම්රාන් ඛාන් අමෙරිකාවට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අද (22) එරට වෙසෙන ඉන්දීය ප්‍රජාව ඇමතීමට නියමිතයි. ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නුවර ඒ සඳහා විශේෂ ජන රැළියක් ද සංවිධාන කර තිබෙනවා. එය නම් කර ඇත්තේ “හවුඩි මෝදි” ලෙසයි.

රැළිය සඳහා 50,000ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිත බවත්, ඉන් බහුතරය ඩයස්පෝරාව නියෝජනය කරන ඉන්දියානුවන් බවත්, සංවිධායකයින් පවසනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද මේ සඳහා සහභාගී වීමට නියමිතයි. නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසියට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙලෙස අමෙරිකාවට ගොස් සිටිනවා. සතියක කාලයක් පුරා අගමැති මෝදි එහි රැඳී සිටීමට නියමිතයි. 

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 74 වන සැසියට සහභාගී වීම සඳහා පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද මේවනවිට අමෙරිකාවට පැමිණ සිටිනවා.

අමෙරිකාවට පැමිණීමට පෙර ඉම්රාන් කාන් සවුදි අරාබියේ දෙදින නිල සංචාරයකට එක්වුණා. සංචාරය නිමාකර අමෙරිකාව බලා පැමිණීම සඳහා පකිස්තාන අග්‍රාමාත්‍යවරයා හට සවුදියේ ඔටුන්න හිමිකුමරු සිය විශේෂිත ගුවන් යානයක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.