Friday, April 26, 2024

General line - 0115112241

රජයේ මාධ්‍ය ආයතන වෙත මැකො ගෙන් අවසන් නිවේදනයක් 




රජයේ මාධ්‍ය ආයතන වෙත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අද (16) අවසන් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා. ඒ ඇතැම් රජයේ මාධ්‍ය ආයතන විසින් සිදුකරනු ලබන ඒකපාර්ශවීය පුවත් වාර්තාකරණය සම්බන්ධයෙන්.

මෙහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ රජයේ මාධ්‍ය ආයතන පක්ෂයක ප්‍රචාරණය කිරීමේ සම්බන්ධයෙන් ඉදිරියේදී එම ආයතන වෙත ලිඛිතව දැනුම් දෙන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී රජයේ මාධ්‍ය ආයතන නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි පියවර ගැනීමට ක්‍රියා කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රාජ්‍ය මාධ්‍ය ආයතන අවභාවිතාව සිදුකිරීම සම්බන්ධයෙන් දිනකට ෆේස්බුක් පණිවිඩ 50 කට වැඩි ප්‍රමාණයක් තමන් වෙත ලැබෙන බවත්, රජයේ මාධ්‍ය ආයතන වෙත සිදුකරනු ලබන අවසාන නිවේදනය මෙය බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා. එමෙන්ම සිවිල් සංවිධාන සහ ඇතැම් පුරවැසියන් විසින් රජයේ මාධ්‍ය ආයතන නිසි නියාමනයකට ලක් නොකළහොත් ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවට ද තමන්ට දැනුම් දී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට 85ක ජන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා. ඒ අතර විදෙස් ගතව සිටින බොහෝ පිරිස් ද ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකාවට ඒමට සුදානමින් සිටින බව වාර්තා වන බවයි ඔහු සඳහන් කර සිටියේ.

තැපැල් ජන්ද පත්‍රිකා මේ වන අදාළ තැපැල් කාර්යාල වෙත යැවීමට මේ වන විට රජයේ මුද්‍රණාලය විසින් පියවර ගෙන ඇති බවයි මෙහිදී මහින්ද දේශප්‍රිය සඳහන් කලේ.

එමෙන්ම විවිධ මාධ්‍ය ආයතන ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයින් සඳහා වෙන්කර ඇති ගුවන් කාලය සම්බන්ධයෙන් ද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උදාහරණ ගෙන පෙන්වනු ලැබුවා. ඉදිරියේදී මාධ්‍ය ආයතන විසින් සිය ප්‍රවෘත්ති විකාශන කාලයන් තුලදී වෙන් කරනු ලබන ගුවන් කාලය සම්බන්ධයෙන් වන වාර්තාවක් සතිපතා අදාල මාධ්‍ය ආයතන වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කලේ.

ජනාධිපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් ප්‍රචාර කිරීමේදී සමානාත්මක තාවයෙන් යුතුව කටයුතු කරන ලෙස තමන් පෞද්ගලික මාධ්‍ය ආයතනයන් ගෙන් යලිත් වරක් ඉල්ලීමක් සිදුකරනු ලබන බව කියා සිටියා.

ජනාධිපති අපේක්ෂකයින් බොහෝ දෙනෙක් ආරක්ෂාව ඉල්ලා ඇති බවත් අපේක්ෂකයින් සුළු පිරිසක් පමණක් මේ දක්වා ආරක්ෂාව ඉල්ලා නොමැති බවයි කියා සිටියේ.

අසත්‍ය පුවත් පළකිරීම, අපේක්ෂකයින් අපහසුතාවයට හා පෞද්ගලිකත්වයට හානිකරන පුවත් පල කිරීම සම්බන්ධයෙන් ද තමන්ට පැමිණිලි ලැබී ඇති බවද කියා සිටියා. 

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී නිල නිවේදනයක් ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවයි ප්‍රකාශ කර සිටියේ. එහිදී කතිරය වෙනුවට අංක ක්‍රමය භාවිත කිරීමේ හැකියාව ගැනද මෙහිදී මැතිවරණ කොමිසම ඉදිරියේදී පැහැදිලි කිරීමක් සිදුකරනු ලබන බවයි කියා සිටියේ.

ඇල්පිටිය මැතිවරණයේදී ජන්ද පොලවල්වල මැතිවරණ ගණනය කිරීමෙන් පසු එහි ප්‍රතිපල නිකුත් කිරීමෙන් පසු එම නිවේදනයන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පලවීම සම්බන්ධයෙන් මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් පළකර සිටියා. ඇතැම් මාධ්‍ය ආයතන විසින් එම ජන්ද පොළ නියෝජිතයින්ට ලබාදී තිබු මැතිවරණ ප්‍රතිපල කොලය සිය ප්‍රවෘත්ති විකාශනයට යොදා තිබු බව කියා සිටියා. එමෙන්ම ඇල්පිටිය නිල ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමට පෙර මාධ්‍ය ආයතනයක් විසින් නිකුත් කර ඇති බවද කියා සිටියා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී එවැනි තත්වයක් ඇතිවුවහොත් එය ඇතැම් විට බරපතල ගැටළුවක් ඇතිවිය හැකි බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඒ හේතුවෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය ඔස්සේ නිල ජන්ද ප්‍රතිපලය ප්‍රකාශ පත් කිරීමට පෙර සිදුකරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බවද කියා සිටියා.