Friday, April 26, 2024

General line - 0115112241

ජපාන අධිරාජ්‍යයාගේ රාජ අභිෂේක මංගල්‍යය උත්සවාකාරයෙන් පැවැත්වේ (PHOTOS)




ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180 කට අධික රාජ්‍ය නායකයින් හා ප්‍රභූවරුන් ඉදිරියේ අද (22) උත්සවාකාරයෙන් පැවතියා. මෙම උත්සවය 2000කට අධික ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගිව සිටියා.

නරුහිතෝ අධිරාජ්‍යයා ඉකුත් මැයි මස 01 වෙනිදා සිට ජපානයේ නව අධිරාජ්‍යයා වශයෙන් නම් කෙරුණා. නමුත් අද දින ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි රාජකීය මාළිගාවේ පැවති සාම්ප්‍රදායික උත්සවයෙන් නරුහිතෝ අධිරාජ්‍යයා සහ ඔහුගේ බිරිඳ වන මසාකෝ අධිරාජනිය ලොව හමුවේ නිල වශයෙන් එම තනතුරේ පිහිටි බවට ලොව හමුවේ ප්‍රකාශ කිරීම සිදු කෙරුණා.

59 හැවිරිදි නරුහිතෝ අධිරාජ්‍යයා මෙහිදී උත්සව සභාව අමතමින් ප්‍රකාශ කර සිටියේ තමන් ජපාන ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් සිය වගකීම් ඉටු කරන අතරම ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කැපවෙන බවයි. 

" ජපානය තව තවත් දියුණුව කරා පියනගන බවත් ලොව අනෙක් රටවල් සඳහා සාමයේ සහ සංවර්ධනය උදෙසා සිය දායකත්වය නොමසුරුව ලබාදීම අරමුණ බව" මෙහිදී නරුහිතෝ අධිරාජ්‍යයා සිය කෙටි කතාවේදී ප්‍රකාශ කර සිටියා.

අධිරාජ්‍යයාගේ රාජ අභිෂේකය වෙනුවෙන් පවත්වනු ජනතා පාගමන ලබන නොවැම්බර් මස 10 වෙනිදා දක්වා කල් තැබීමට ජපාන රජය පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. පුද්ගලයින් 82 කට මරු කැඳවමින් මිට දින 10 කට පමණ පෙර ජපානය හරහා හමා ගිය හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් ආපදාවන්ට ලක්වූ පෙදෙස් තාමත් පිළිසකර කරමින් සිටිම ඊට හේතුව බවයි ජපන් බලධාරීන් සඳහන් කරන්නේ.

මෙම රාජ අභිෂේක උත්සවය සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, බෙල්ජියමේ රජුවන පිලිප් කුමරු සහ ඔහුගේ බිරිඳ, තායිලන්ත අගමැතිවරයා, ස්වීඩනයේ රජු, කටාරයේ එමිර්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.